September 6, 2024

ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇත්තේ ක්‍රම වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින ජනතාව මිරිඟුවක් කරා ඇදගෙන යන ප්‍රතිපත්තියක් බව ජන අරගල සන්ධානයේ පුබුදු ජයගොඩ පවසයි.

ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායකගේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍යය හමුවකට ඊයේ( 5) එක්වෙමින් ඔහු සඳහන් කළේ අද මාළිමාවට සහතික දීමට ඉදිරිපත් වන්නේ ජෝන් කීල්ස් වැනි සමාගම් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේ ද පැවසීය.

“ක්‍රම වෙනසක් අපේක්ෂා කළ ජනතාව මැතිවරණය තුළ මුහුණු මාරුවක් දක්වා ගෙනියන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නෙ. එක කාලයක ජවිපෙ සන්ධානගත වුණා දක්ෂිණාංශික දේශපාලන පක්ෂ එක්ක. හැබැයි ඒ මුල් කාලීන සන්ධානගතවීම් ඇතුළෙ වාමාංශික වැඩපිළිවෙළක් තිබුණා . හැබැයි දැන් පක්ෂ එක්ක නෙමෙයි සන්ධානගත වෙන්නෙ ධනපති පන්තිය එක්ක. හැබැයි වාමාංශික වැඩපිළිවෙළ දැන් ඒක ඇතුළෙ නෑ.

දැන් අපි දැක්කා ධනේශ්වර ව්‍යාපාරිකයෝ ඇවිත් මාක්ස්වාදය දැන් ෆේල් වෙළෙඳපොළ ආර්ථිකයක් තමයි හදන්න ඕන කියනකොට ගැලරියේ ඉඳන් ඒක අනුමත කරනවා ජාතික ජන බලවේගයේ නායකයෝ. DSI ප්‍රධානියා කියන විදිහට දැන් මේ මාළිමාව තෝරගෙන තියෙන්නෙ ඔෆපෙරගේ පාර. ඒක හොඳින් පැහැදිලි වෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය බලනකොට.

ජෝන් කීල්ස් වගේ සමාගම් තමයි අද මාළිමාට සහතික දෙන්න එන්නෙ. අපි දන්නවා චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලේ ඉතාම දූෂිත විදිහට කොළඹ වරායේ ජැටියක් කුණු කොල්ලයට මිලදී ගත්ත සමාගම තමයි ජෝන් කීල්ස් කියන්නෙ. අද ඒ සමාගම තමයි එන්නෙ මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය කොහොමද සකස් වෙන්න ඕන කියලා සහතික දෙන්න.

ජාතික ජන බලවේගය දේශපාලනිකව මොනතරම් මං මුලාවෙලා ද කියන එකට උදහරණයක් තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය . දැන් අපි 2028 වෙද්දි නැවත ණය ගෙවන්න ඕන. ඒ වෙද්දී එක ඩොලරයක් අලුතෙන් හොයන්නෙ කොහොමද කියලා කිසිඳු සටහනක් නෑ. මේ අධික ණය බරෙන් නිදහස් වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට කිසිඳු උත්තරයක් නැතුව තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියල තියෙන්නෙ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවද්දී සැක හිතෙනවා මේක මේ අවුරුද්දේ ලියපු එකක් ද නැත්තං පරණ එකක ප්‍රින්ට් එකක් ද කියලා . උදහරණයක් විදිහට මේකෙ කියනවා විධායක ජනාධිපති බලතල කප්පාදු කරලා පාර්ලිමේන්තුවට සියලු බලතල පවරනවා කියල 194 පිටුවෙ. හැබැයි 2022 අරගලේදී තමයි මිනිස්සු කිව්වෙ 225ම එපා කියලා . එතකොට ඒ අරගලයේ අභිලාෂයන් හැම දෙයක්ම අමතක කරල තමයි මේ පරණ කතාවක් ආයෙ මේ කියන්නෙ.

ඊළඟට බරපතළම කාරණය තමයි ආර්ථික කතාව. IMF වැඩපිළිවෙළ ගැන කතාකරනවා කියලා විතරයි තියෙන්නෙ හැබැයි මේ ගැන නිශ්චිත ස්ථාවරයක් නෑ. ණය සම්බන්ධයෙන් ගන්න පියවර මොනවද ? රාජ්‍යය ආයතන පවත්වාගෙන යන්නෙ කොහොමද වගේ කාරණා ගැන නිශ්චිත ස්ථාවරයක් නැතුව තමයි මේ යන්න හදන්නෙ.

106 වැනි පිටුවෙ කියනවා විදෙස් ආයෝජකයන්ව ආරක්ෂා කරනවා. ඔවුන්ට තමන්ගේ ආයෝජන කරන්න ඉඩ දෙනවා කියලා. හැබැයි එහෙම කියන ගමන් සුළු ව්‍යාපාරිකයන්ව ආරක්ෂා කරන්න මැදිහත් වෙනවලු. මහාපරිමාණ සමාගම් අධිකාරය රකින ගමන් සුළු ව්‍යාපාරිකයන්ගේ දියුණුව ගැන කතාකරන්නෙ කොහොමද ? ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ඊළඟට මේ 17 වැනි පිටුවෙදි අවුරුදු 14 දී පාසල් හැරයෑමේ විභාගයක් තියන්න යෝජනා කරනවා. අපි දන්නවා අවුරුදු 16 පාසල් හැරයෑමේ විභාග නීති හැදෙන්නෙ ලන්දේසි යුගයෙදි. දැන් හැබැයි ලෝකෙ සාකච්ඡාව තියෙන්නෙ මේ කාලය අවුරුදු 18 දක්වා වැඩි කරන්න ඕන කියල. එහෙම තත්ත්වයක් ඇතුළේ මේගොල්ලො යෝජනා කරනවා අවුරුදු 14දී පාසල් හැරයෑමේ විභාගයක් තියන්න. මේ එන්නෙ කොතනටද කියලා පැහැදිලි තනි කම්කරු නීතිය දිහා බැලුවම මොකද ඒකෙ සඳහන් වෙනවා අවුරුදු 14න් පසු ළමුන්ට පෞද්ගලික අංශයේ රැකියා කරන්න අවස්ථාව ලැබෙනවා කියලා.

දැන් මේ ප්‍රතිපත්තියේ බදු ගැන කතාකරනවා හැබැයි කොලේ වහලා. බදු බර අඩුකරනවා කියලා සාමාන්‍යය ජනතාවට කියන ගමන් ව්‍යාපාරිකයන්ටත් කියනවා ඔවුන්ගේ බදුබර අඩු කරනවා කියලා. එතකොට අපි අහන්නෙ මේ දෙක කොහොමද බැලන්ස් කරන්නෙ? ව්‍යාපාරිකයන්ගේ ලාභයට අත නොතියා කොහොමද ජනතාවට බදු සහන දෙන්නෙ? ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැන නිශ්චිත උත්තරයක් දීලා නෑ. ඇයි මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනවා කියලා තීරණයක් ගන්න බැරි?

කඳුකර දෙමළ ජනතාවට උපාධිය සමත් දොස්තර කෙනෙක් යවන්නෑ බෙහෙත් දෙන්න අදටත්. එහෙම තත්ත්වයක් ඇතුළෙ ඒ ජනතාවගේ ප්‍රශ්නයට නිශ්චිත උත්තරයක් නොදී තමයි මේ ප්‍රතිපත්තිය ලියල තියෙන්නෙ. සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාවේ සත්තුන්ටවත් බෙහෙත් කරන්න බෑ පශු වෛද්‍ය උපාධියක් නැතුව. එතකොට සත්තුන්ගේ ජීවිත තරම්වත් මේ කඳුකර ජනතාවගේ ජීවත වටින්නැද්ද? ඇයි ඒ ජනතාවටත් සමාන සෞඛ්‍ය පහසුකම් භුක්ති විඳින්න දෙනවා කියලා කියන්න බැරි?

ඒ නිසා ජාතික ජන බලවේගය මේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරල තියෙන්නෙ මේ රටේ සාමාන්‍යය ජනතාවගේ අභිලාෂයන් තුට්ටුවකට මායිම් නොකර. අපිට ජනතාවට කියන්න තියෙන්නෙ වෙනසක් වෙනසක් කියලා තවත් පාරක් රැවටෙන්නෙ නැතුව ඔබේ සටන්පාඨ අරගලයේ අභිලාෂයන් නියෝජනය කරන ජනතාවගේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න එකතු වෙන්න.”