September 8, 2024

දීර්ඝ නිවාඩු ලබා රැකියාවට හෝ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූ රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් නිවාඩු නිමවී හෝ නිවාඩු දිගුවක් ලබාගැනීමෙන් පසු නැවත සේවයට නොපැමිණෙන්නේ නම් එම තනතුරෙන් ඉවත්වූවා සේ සලකන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

2022 වසරේ ආර්ථික අර්බුදකාරී කාලසීමාව තුළ ලබාදුන් විශේෂ විධිවිධාන යටතේ නිවාඩු ලබාගෙන ඇති ඇතැම් නිලධාරීන් නැවත සේවයට වාර්තා කර නොමැති බවට අනාවරණය වීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න සිකුරාදා අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝගයක් නිකුත් කර ඇත්තේ, නිලධාරීන් නිවාඩු නිමවා සේවයට නොපැමිණියේ නම් වහාම එම තනතුරු පුරප්පාඩු වී ඇති බවට නිවේදන නිකුත් කරන ලෙසයි.

යම් ආයතනයක් එවැනි තැනැත්තන්ට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වුවහොත්, ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.

2000කට අධික සේවක පිරිසක් විදේශ රැකියා වෙනුවෙන් හෝ වෙනත් අවශ්‍යතා සඳහා මෙලෙස නිවාඩු ලබාගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.