June 23, 2024

රාජ්‍ය සේවකයකුට කිසියම් විශ්‍රාම වැටුපක් හෝ දීමනාවක් සඳහා ‘නිරපේක්ෂ අයිතියක්’ නොමැති බව අභියාචනාධිකරණය තීරණය කර ඇත.

එය, මෙම කාරණය සම්බන්ධයෙන් කළින් පැවැති තීරණයක් නැවත තහවුරු කිරීමකි.

ඒ අනුව, විශ්‍රාම වැටුපක් ලබාගැනීම සඳහා පෙත්සම්කරුවන්ට අධිකරණ නියෝගයක් ඉල්ලා සිටිය නොහැකි බව අභියාචනාධිකරණය අවධාරණය කර තිබේ.

විශ්‍රාම වැටුප් විෂමතා ගැටලූව විසඳනතුරු තම විශ්‍රාම වැටුප් වැඩිවීම අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය බල රහිත කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමිකයන් පිරිසක් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.

සම්පත් විජේරත්න සහ අහ්සන් මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ගත් තීරණය පැහැදිලි කිරීම සඳහා පසුගිය නඩු තීන්දු කිහිපයක් උපුටා දක්වා ඇත.

එම්. කේ. බී .හේරත් එදිරිව ජගත් ඩී. ඩයස් සහ ගුණවර්ධන එදිරිව නීතිපතිවරයා ඊට ඇතුළත් ය.

අධිකරණයට රජයේ ප්‍රතිපත්තිවලට බලපෑම් කළ නොහැකි බවට ඉන්දීය අධිකරණ විසින් ලබාදුන් තීන්දු දෙකක් ද අධිකරණය විසින් උපුටා දක්වා තිබේ.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ කේ.ඒ.තිලකරත්න, විශ්‍රාමික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ මහින්ද ජයසිංහ ඇතුළු විශ්‍රාමිකයන් 94 දෙනකුගෙන් සමන්විත පෙත්සම්කරුවන් 95 දෙනකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

විශ්‍රාම වැටුප් විෂමතා ගැටලූව විසඳනතුරු විශ්‍රාම වැටුප් වැඩිවීම අත්හිටුවමින් 2020 ජනවාරි 20 වැනිදා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය බල රහිත කරමින් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබිණි.

වගඋත්තරකරුවන් සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ අමසර ගජධීර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ ඉදිරිපත් කළ මූලික විරෝධතා ද අධිකරණය විසින් තහවුරු කර ඇත.

මෙම පෙත්සමේ දී වගඋත්තරකරුවන් විසින් තමන්ට හිමි නීත්‍යානුකූල අයිතියක් කඩකර ඇති බව ඔප්පු කිරීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බව තීන්දුවේ අවධාරණය කර ඇත.

නීතිඥ සුනිල් වටගලගේ උපදෙස් මත චාමර නානායක්කාර සමඟ නීතිඥ ශාන්ත ජයවර්ධන යන නීතිඥවරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටියහ.

42.31%
17.27%
32.76%