September 15, 2024

රට තුළ බරපතළ ගැටළු ඇති කර තිබෙන මත්ද්‍රව්‍ය උවදුර ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයට පැමිණීමෙන් අනතුරුව තුරන්කරන බව එහි ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියාසිටියේ දිවයිනේ විවිධ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම දේශපාලනඥයන්ගේ අනුග්‍රහයෙන් සිදුවන බවයි.

“රටේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පිටුපස ඉන්නේ දේශපාලඥයන්. දේශපාලඥයන් කිහිපදෙනෙක්ම ජීප් රථවල මත්ද්‍රව්‍ය සහ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී පසුගියදා හසුවුණා,” යනුවෙන් අනුර කුමාර දිසානායක එහිදී පැවැසීය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වී ඇති බවත්, දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ විට මුළු පවුලම පීඩාවට පත්වන බවත් ය.

“මේ අනුරාධපුර පූජා නගරය ඉස්සර බොහොම සාමකාමීයි. කාටත් බය නැතිව දවස් ගණන් ඇවිත් විනෝද වෙන්න පුළුවන්. අපි ළමයි එක්ක ඇවිත් දවස් ගාණක් නවතිනවා. දැන් නගරයේ මත්ද්‍රව්‍ය ඉහවහා යනවා,” ඔහු පැවසීය.

ජාතික ජන බලවේගය කිසිවකුට බියක් හෝ ණයගැති නොවන බවත්, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කළ හැකි එකම ආණ්ඩුව ජාතික ජන බලවේගය පිහිටුවන ආණ්ඩුව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පොලිසියට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ජාතික ජන බලවේගය නිදහස ලබාදෙන බව පැවසූ අනුර කුමාර දිසානායක, දේශපාලනඥයන්ට ආරක්ෂාවට තර්ජන නොමැති නම් ඔවුන්ට ලබාදී ඇති ආරක්ෂාව ඉවත් කරන බවද පැවසුවේය.