January 5, 2025

මරණීය දණ්ඩනයට නියමව සිටින දුමින්ද සිල්වාට බන්ධනාගාර රෝහලේ විශේෂ පහසුකම් ලැබෙන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන අතරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබන වාට්ටුවේ ඡායාරූප නිකුත් කර ඇත.

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ වාට්ටුවේ අංක 3 හි නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, තවත් රැඳවියන් 50කට වැඩි පිරිසක් එහි ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැහැදිලි කරයි.

දුමින්ද සිල්වා මුලින් බන්ධනාගාරයට මාරුකර යවන විට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බවට නිර්දේශ කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

දුමින්ද සිල්වා මේ වන විට බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටින බව එම ඔහු සඳහන් කළේය.

තවද දුමින්ද සිල්වා තවදුරටත් බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුද යන්න පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විධිමත් විමසීමක් කර ඇති බවද ඔහු පවසයි.

තත්ත්වය තක්සේරු කිරීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති අතර, ඔවුන්ගේ නිර්දේශ මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව එම මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

දුමින්ද සිල්වා ඇතුළු බන්ධනාගාරයේ සිටින ඇතැම් රැඳවියන්ට විශේෂ පහසුකම් සලසන බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඊයේ සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කළේය.

කෙසේවෙතත්, මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, විශේෂ පහසුකම් කිසිවක් සපයා නොමැති බවයි.

දුමින්ද සිල්වාට වෙනම වැසිකිළියක් හෝ වෙනත් විශේෂ සැළකිල්ලක් ලබාදී නොමැති බව හෙළිකරමින් මූලික පරීක්ෂණ දෙකක් සහ ස්ථාන පරීක්ෂා කිරීම් සිදුකළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%