June 21, 2023

කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බසයකට වෙඩි තබා ‘රණාලේ සමයං’ නමැති පුද්ගලයා ඝාතනය කළ ආකාරයටම, නිලධාරීන් පිරිසක් ඝාතනය කර, දැනට මරණ දඩුවම නියම වී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක්වන දෙමටගොඩ චමින්ද බේරාගැනීමේ කුමන්ත්‍රණයක් ගැන බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

එලෙස බේරාගන්නා දෙමටගොඩ චමින්ද කඩිනමින් විදේශ රටකට යැවීම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණවී ඇතැයි පැවැසේ.

මේ හේතුවෙන්, වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින දෙමටගොඩ චමින්ද බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට සහ එකදු නඩු කටයුත්තකට හෝ ඔහුව විවෘත අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය විසින් බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නියෝග කර ඇත.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් ද වරදකරු වී මරණ දඩුවම නියමවී සිටින ඔහුට එරෙහිව තවත් අපරාධ නඩු කිහිපයක්ම තවමත් විභාග වේ.

මෙම නඩුවලට ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලබන්නේ පූර්ණ ආරක්ෂාව යටතේය.

දෙමටගොඩ චමින්දගේ පාතාල හා මත්ජාවාරම් ඇතුළු ගනුදෙනු මේ වනවිට කරගෙන යනු ලබන්නේ, ඔහුගේ සොහොයුරු වන දෙමටගොඩ රුවන් ය.

සන්නද්ධ කණ්ඩායමක් යොදවා චමින්ද බන්ධනාගාරය වෙත රැගෙන එන අතරතුර බන්ධනාගාර බස් රථයට වෙඩි තබා නිරුපද්‍රිතව චමින්ද මුදවා ගැනීමට ඔහු විසින් සැලසුම් කර ඇතැයි පැවැසේ.

ඒ සදහා අවශ්‍ය ආයුධ හා කණ්ඩායමක් මේ වනවිටත් සංවිධානය කරගෙන තිබෙන බවද අනාවරණය වී තිබේ.

මේ අනුව, සියලුම නඩු සදහා දෙමටගොඩ චමින්ද ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමටත්, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පූර්ණ ආරක්ෂාවක් යටතේ රැදවීමටත් පියවර ගෙන ඇත.