September 4, 2024

බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පුනරුත්පත්තිය බව පවසන පිරිමි දරුවකු පිළිබඳ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

එම දරුවා ඩයනා කුමරියගේ පුතුන් දෙදෙනා වන විලියම් කුමරු සහ හැරී කුමරු සම්බන්ධයෙන් ද පවසා ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

එම දරුවා බිලී කැම්බල් නමැත්තෙක්.

ඔහු ඕස්ට්‍රේලියාවේ ප්‍රකට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන ඩේවිඩ් කැම්බල්ගේ පුත්‍රයා බව පැවැසේ.

ඩයනා කුමරිය මියගියේ 1997 වසරේ වන අතර බිලී කැම්බල් උපත ලබා ඇත්තේ ඩයනා මියගොස් වසර 18 කට පසුවය.

ඔහු කුඩා කල සිට හැදී වැඩෙන විට බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල පිළිබඳ කිසිවක් ඉගෙන ගෙන නොමැති නමුත් දරුවා පවසන්නේ ඩයනාගේ ජීවිතයේ මතකයන් සිහිපත් කළ හැකි බවයි.

වරක් බිලී කැම්බල් සිය පවුලේ සාමාජිකයන්ට පවසා ඇත්තේ ඔහුට ජෝන් නම් සහෝදරයෙකු සිටින බවයි.

තවත් අවස්ථාවක ඔහු ‘තම පිරිමි දරුවන් දෙදෙනා’, එනම් විලියම් සහ හැරී ගැන සඳහන් කළ බවත් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.

ඩයනා කුමරියට ජෝන් නම් වැඩිමහල් සහෝදරයකු සිටි නමුත් ඇය ඉපදීමට පෙර ඔහු මියගොස් ඇතැයි පැවසේ.

ඩේවිඩ් කැම්බල් ප්‍රථමයෙන් සිය පුත්‍රයා වන බිලී කැම්බල් පිළිබඳ අනාවරණ කර ඇත්තේ 2019 දී ස්ටෙලර් සඟරාව සඳහා තීරු ලිපියක් සකස් කරන අතරතුරදී.

ඒ වනවිට බිලීගේ වයස අවුරුදු 04 කි.

එහිදී ඩේවිඩ් කැම්බල් පවසා ඇත්තේ බිලී මුලින්ම ඩයනා ගැන කතාකිරීමට පටන් ගත්තේ ඔහුට වයස අවුරුදු දෙකේදී බවයි.

කුඩා දරුවා කාඩ්පතක තිබූ කුමරියගේ පින්තූරයක් පෙන්වමින් මෙලෙස පවසා ඇත.

“බලන්න, මම කුමාරිකාවක්ව සිටියදී; ඒ මමයි.”

රාජකීය පවුලේ ප්‍රියතම ස්කොට්ලන්ත මාලිගාව වන බැල්මොරාල් මාලිගය කිසි දිනෙක දැක නොතිබූ බිලී බැල්මොරාල් මාලිගයේ පෙනුම කෙබඳුදැයි විස්තර කිරීමට ද සමත්ව ඇතැයි පැවැසේ.