March 13, 2025

දේශපාලනඥයන්ට පාසල් උත්සවවලට සහභාගී වීමට ආරාධනා නොකරන ලෙසට අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් දුන් ඇගේ පෙර ප්‍රකාශය අගමැතිනි හරිනි අමරසූරිය ඊයේ ප්‍රතික්ෂේප කළාය.

පාර්ලිමේන්තුවේදී කතාකරමින් අගමැතිනිය ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් කිසිදු නීතියක් පනවා නොමැති බවත්, පාසල් පද්ධති දේශපාලනය සඳහා භාවිත නොකළ යුතු බව තමන් අවධාරණය කළ බවත්ය.

එවැනි සීමාවක් නොමැති බව ඇය නැවත අවධාරණය කළ අතර වෙනත් ආකාරයකින් කරුණු සඳහන් කරන ජනමාධ්‍ය වාර්තා වැරදි බවද ඇය සඳහන් කළාය.

අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැතිනිය විසින් පනවා ඇති බව කියන තහනම නොතකා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාසල් උත්සවවලට සහභාගී වන්නේ කෙසේදැයි විමසූ විපක්ෂ මන්ත්‍රී ඩී.වී. චානකගේ ප්‍රශ්නයකට ඇය පිළිතුරු දෙමින් ඇය මේ බව කියාසිටියාය.

කෙසේවෙතත්, පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනි දින අගමැති කාර්යාලයෙන් නිකුත් කළ ජනමාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී, පාසල් උත්සව සඳහා දේශපාලනඥයන්ට ආරාධනා කිරීම නවත්වන ලෙස අගමැතිවරිය උපදෙස් දුන් බවයි.