July 12, 2023

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීමේ කාර්යභාරය ඊළඟ පරම්පරාවට උරුම නොකර එය වර්තමානයේදීම විසඳීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අරමුණ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක සඳහන් කර ඇත.

සංහිඳියා ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු විසඳා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවත්, එම ප්‍රයත්නය සාර්ථක කර ගතහොත් රටක් ලෙස වසරක් පාසා ජිනීවා විත්ති කූඩුවට නැගීමට අවශ්‍ය නොවන බවත්, ලේකම්වරයා පවසා තිබේ.

විදේශ ඇමැති අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (11) පැවැති සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ සිවිල් සමාජය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා මෙසේ සඳහන් කර ඇත.

එසේම විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි විසින් සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ අරමුණු පැහැදිලි කර ඇති අතර, සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ (Truth reconciliation commission ) කාර්යභාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

එහිදී එම කොමිසම පිහිටුවීමේ අරමුණු ඉටුකර ගැනීම පිළිබඳ පැමිණ සිටි සිවිල් සමාජ සංවිධාන සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා විමසා සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සංහිඳියා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත.

රටක් ලෙස ඉදිරියට යෑමට සියලු පුරුවැසියන්ගේ එකඟතාව හා සහයෝගය අවශ්‍ය බව ලේකම්වරයා එහිදී වැඩිදුරටත් අවධාරණය  කර තිබේ.