September 21, 2024

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 04 ට අවසන් විය.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පෙරවරු 7.00ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ආරම්භ විය.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 38 දෙනෙකු තරග වැදුණි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354 කි.

ඉන් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1,881,129 කි.

මේ අතර 2024 ජනාධිපතිවරණයේ පළමු ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.

තැපැල් ඡන්දවලින් හෝ අද ප්‍රකාශිත ඡන්දවලින් පළමු මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීම රඳා පවතින්නේ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාවය මත බව ද ඔහු ජනමාධ්‍ය වෙත පැවැසීය.

කෙසේවෙතත්, පසුගිය අත්දැකීම් අනුව අද මධ්‍යම රාත්‍රිය වන විට පළමු ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.