March 26, 2024

ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සමීපතමයන් වෙත දන්වා, තම කැබිනට් මණ්ඩලයටද එය ඉඟිකර ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රථමයෙන් පැවැත්වීමට ජනාධිපතිවරයාට ඒත්තු ගැන්වීමට බැසිල් රාජපක්ෂ අසමත් වීම බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පසුගිය කැබිනට් රැස්වීම් දෙකේදීම ජනාධිපති වික්‍රමසිංහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන බවට ඉඟිකළ බවත්ය.

මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දී නැතත්, ඔක්තෝබර් මුල් සතියේ මැතිවරණය පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා ලෙස සැලකෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායකයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන අතර, ජනාධිපති වික්‍රමසිංහට තම සහාය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කඳවුර දැනටමත් දෙකඩ වී ඇති අතර, සමහර සාමාජිකයන් දැනටමත් ජනාධිපතිවරයාට සහාය ලබාදෙන බවට ප්‍රතිඥා දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය සති කිහිපය තුළ ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවට ප්‍රචාරක කටයුතුවල නිරත වූ අතර, බැසිල් රාජපක්ෂද ද පසුගිය සතියේ ජනාධිපති වික්‍රමසිංහ හමුවී මහ මැතිවරණයක් ගැන ඔහුට ඒත්තු ගැන්වීමට කටයුතු කළද, ජනාධිපතිවරයා සිය තීරණයේ ස්ථිරව සිටීමත් සමඟ එම සාකච්ඡා අසාර්ථක වූ බව පෙනේ.

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණය පළමුව පවත්වන ලෙස ජනාධිපති වික්‍රමසිංහට සමීප එජාප මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා දැඩි දේශීය හා අන්තර්ජාතික ප්‍රචාරක ව්‍යාපාරයක් අඛණ්ඩව සිදුකරගෙන යන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 2019 ජනාධිපතිවරණයේ දී සියයට 3.9 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේය.

ඔහුට මේ වසරේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම්, ඉදිරි මැතිවරණයේදී අවම වශයෙන් සියයට 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ඔහුට සිය ඡන්ද පදනම විශාල ලෙස වැඩිකරගත යුතුය.

2019 මැතිවරණ තරඟයෙන් ඡන්ද සියයට 40ක් ලබාගත් සජබ නායක සජිත් ප්‍රේමදාස ද සිය ප්‍රචාරක ව්‍යාපාරය දිගටම කරගෙන යන අතර, ජනාධිපතිවරණයට පෙර ඔහුට සියයට 50 ලබා ගැනීමට වඩා විශාල ප්‍රචාරණයක් අවශ්‍ය වනු ඇත.

ජනාධිපති වික්‍රමසිංහටද ජනාධිපති ධූරය දිනාගැනීමට අවශ්‍ය නම් දැවැන්ත ඡන්ද ව්‍යාපාරයකට සූදානම්වීමට සිදුවනු ඇත.

පසුගිය මැතිවරණයෙන් එජාපය අතුගෑවී යෑමත් සමඟම, විශේෂයෙන්ම එජාපයට කවදත් ජනප්‍රියත්වයක් නොමැති බිම් මට්ටමේ ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය වඩාත් ශක්තිමත් විය යුතු බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

40% කට වැඩි ඡන්දදායකයන් තවමත් ඉදිරි කාලය තුළ ඡන්දය දිය යුත්තේ කාටද යන්න තීරණය කර නොමැති බැවින්, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති අපේක්ෂකයාගේ ප්‍රතිශත පිළිබඳව සඳහන් කරමින් විවිධ සංවිධාන සහ පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මෑතක දී නිකුත් කරන ලද ඡන්ද සමීක්ෂණ දේශපාලන විශ්ලේෂකයන් ප්‍රතික්ෂේප කර ඇත.

42.31%
17.27%
32.76%