August 28, 2024

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ජනාධිපති අපේක්ෂකයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයන් මඟින් එක් එක් අපේක්ෂකයා ලබාගෙන ඇති ණය ප්‍රමාණයන් පිළිබඳ අවබෝධයක් ද මහජනතාවට ලබා දී ඇත.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් තරගවදින ව්‍යාපාරික දිලිත් ජයවීර රුපියල් 16,500,000ක සැළකිව යුතු මාසික ආදායමක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ඔහු 2024 ජනාධිපතිවරණයේ සියලුම අපේක්ෂකයන් අතරින් වැඩිම ආදායමක් උපයන පුද්ගලයා බවට පත්ව ඇත.

මෙම ආකර්ෂණීය ආදායම තිබියදීත්, වඩාත්ම සැළකිව යුතු ණය බර උසුලන අපේක්ෂකයා ද ජයවීර ය.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට ඔහු කළ ප්‍රකාශවලට අනුව, දිලිත් ජයවීර විසින් රුපියල් මිලියන 758.5 ක ණය ලබාගෙන ඇති අතර, ඉන් රුපියල් මිලියන 411.56ක් තවමත් ගෙවා නැත.

එම ණය අතර මහල් නිවාස වෙනුවෙන් ලබාගත් රුපියල් මිලියන 300ක ණයද ඇතුලත් වේ.

ණය ලයිස්තුවේ දෙවනියාව සිටින සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ද සැළකිව යුතු ණය බරක් ඇති බව පෙනීයයි.

ඔහු අවම තරමින් ණය 20ක් පමණ ලබාගෙන ඇති අතර, ඉන් රුපියල් මිලියන 95.31ක් තවමත් ආපසු ගෙවීමට ඉතිරිව ඇත.

ලාබාළතම ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රකාශයෙන් ද සංකීර්ණ මූල්‍ය තත්ත්වයක් අනාවරණය තිබේ.

2011 දී ලබාගත් පෞද්ගලික ණය මුදලකින් රු.මිලියන 8ක්, Hello Corp වෙතින් ලබාගත් රු.මිලියන 47.45ක්, Link Asia Holdings වෙතින් ලබාගත් රු.මිලියන 14.91ක්, ඔහුගේ බිරිඳ සමඟ එක්ව පවත්වා ගෙන යන ක්‍රෙඩිට් කාඩ්පතේ ණය ඇතුළුව නාමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 81.79ක ණය ආපසු ගෙවීමට ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද නොගෙවූ ණය සමඟ පොරබදමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

රයිඩර් හෝල්ඩිංග්ස් වෙතින් 2015 දී ලබාගත් රුපියල් මිලියන 50 ක ණයක් සහ ලංකා බැංකුවෙන් ලබාගත් රු. මිලියන 4.8ක් සහ තවත් රු. මිලියන 4.1ක් තවමත් ඔහු විසින් ගෙවීමට ඉතිරිව ඇත.

ජනාධිපති අපේක්ෂක සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක විසින්ද රු. මිලියන 50ක ණය ආපසු ගෙවීමට ඉතිරිව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ සමඟ එක්ව 2019 දී ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රු.මිලියන 1.85 බැගින් ණය ලබාගෙන ඇති අතර, රනිල් වික්‍රමසිංහ තවමත් ඉන් රු. 834,407 ක් සහ ඔහුගේ බිරිඳ රු. 809,864ක් ආපසු ගෙවීමට ඉතිරිව ඇත.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහ විජයදාස රාජපක්ෂට මෙම තත්වයන්ට වෙනස්ව, කිසිදු පෞද්ගලික ණයක් නොමැති බව වාර්තා කර තිබීම කැපී පෙනේ.

දූෂණ විරෝධී පනතේ 88(1) උපවගන්තිය අනුව ඉවත් කළ ඇතැම් හෙළිදරව් කළ නොහැකි තොරතුරු සහිත අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශවල සංස්කරණය කළ අනුවාද දැන් https://ads.ciaboc.lk වෙබ් පිටුව හරහා ප්‍රසිද්ධියට පත්කර ඇත.(Daily FT)

42.31%
17.27%
32.76%