42.31%
17.27%
32.76%
October 14, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදෙනු ලබන අධ්‍යයන පර්යේෂණ දීමනාව වැඩිකර ගැනීම හා එම දීමනාව දැනට ක්‍රියාත්මක කරනු ලබන උපයන විට අයකරනු ලබන බද්දෙන් නිදහස් කර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්විය.

රටේ සියලුම ජනතාව මුහුණදී සිටින ආර්ථික අසීරුතාව පිළිබඳ රජයට මනා අවබෝධයක් ඇති බවත් පවතින ආර්ථික ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් සියලු ජනතාව වෙත සහන සැලසීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙම අධ්‍යයන පර්යේෂණ දීමනාව ඉල්ලා සිටින පරිදි ලබාදීමට දැනට පවතින චක්‍රලේඛ අනුව ප්‍රතිපාදන නොමැති වුවත්, එය පවතින බදු ප්‍රතිපත්ති වලින් නිදහස් කර ගෙවීම සම්බන්ධයෙන් වෙනත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයාබලා සති 03ක් ඇතුළත තමා වෙත වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලි‍ෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%