August 17, 2023

වෙනස්වන ලෝකයට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ දරුවන්ට අනාගතයේදී හින්දි සහ චීන භාෂාව ඉගෙන ගැනීමට සිදුවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රකාශ කළේය.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය අනාගතයට ගැලපෙන පරිදි විශාල ලෙස වෙනස් වියයුතු බවයි.

“අපට නව විෂයයන් හඳුන්වාදීමට සිදුවෙනවා. වෙනස්වන ලෝකයට ගැලපෙන පරිදි අපේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාවට අමතරව චීන සහ හින්දි ඉගෙනීමට සිදුවෙනවා. තාක්ෂණය මත පදනම් වූ නව පරම්පරාවට ගැලපෙන පරිදි අපට නව විෂයයන් හඳුන්වාදීමටත් සිදුවෙනවා. පාසල්වල සිසුන්ට ජංගම දුරකථන සහ පොඩ්කාස්ට් හරහා අධ්‍යාපනය හැදෑරීමට සිදුවේවි. අපට පාසල්වල සහ විශ්ව විද්‍යාලවල ජෙනෝම තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය ඉගැන්වීමට සිදුවේවි. නව තාක්‍ෂණය අනාගතයේදී ඩොලර් ට්‍රිලියන එකහමාරක ගෝලීය ආදායමක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාවට එහි කොටස්කරුවෙකු වීම හැර වෙනත් විකල්පයක් නැහැ ” යැයි ජනාධිපතිවරයා පැවසීය.

දේශගුණික විපර්යාස ගැන සඳහන් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරි වසර 20 තුළ ශ්‍රී ලංකාව ජල හිඟයකට මුහුණ දෙන බවයි.

“එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසා ඇති පරිදි දේශගුණික විපර්යාස සමඟ කටයුතු කිරීමේදී අපට දේශගුණික විපර්යාස වැඩසටහන කඩිනම් කිරීමටත් ලෝකය සමඟ ගමන් කිරීමටත් සිදුවනවා.”