July 9, 2023

පසුගිය වසරේ රාජ්‍ය නායකයා ලෙස පත්වීමෙන් පසු චීනයේ සිදු කරන පළමු නිල සංචාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් මාසයේදී චීනයට යෑමට නියමිත බව වාර්තා වේ.

රජයේ ආරංචි මාර්ගවලට අනුව ඔහුගේ ප්‍රධාන කාර්යභාරය වනුයේ නව ආයෝජන සෙවීම, වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම සහ ඇණහිට ඇති ව්‍යාපෘති සඳහා අරමුදල් නැවත ලබාගැනීමයි.

කොළඹ වරාය මූල්‍ය නගරය සඳහා ආයෝජන කඩිනම් කිරීම සහ මධ්‍යම අධිවේගී මාර්ගය – කඩවත – මීරිගම කොටස සඳහා අරමුදල් නැවත ලබාගැනීම පිළිබඳව චීනයේ Exim බැංකුව සමඟ සාකච්ඡා කිරීම මෙම සංචාරයේදී සිදුකෙරෙනු ඇති අතර, හම්බන්තොට ප්‍රදේශය අවට නව ආයෝජනයන් පිළිබඳව අවධානය යොමුකිරීමද එහිදී සිදුවනු ඇතැයි පැවැසේ.

අමෙරිකානු ඩොලර් බිලියන හතරක අරමුදල් ලබාගැනීමට අපේක්ෂිත හම්බන්තොට පිරිපහදු ව්‍යාපෘතිය සඳහා චීන ආයෝජනයක් සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී සාකච්ඡා කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

අපනයනය ඉලක්ක කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා වන මූලික අවශ්‍යතා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් දැනටමත් සකසා අවසන් බව වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී සිදුකෙරෙන රාජ්‍යතාන්ත්‍රික හමුවීම් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.