December 9, 2024

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටුනොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායකමෙම අදහස් පළකළේ , ‘2024 අන්තර්ජාතික දූෂණ විරෝධී දින ජාතික සැමරුම’ වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයේදීය.

‘සුපිළිපන්න හෙටක් සඳහා තාරුණ්‍යය එකමුතු කරමු’ යන තේමාව යටතේ මෙවර අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය සැමරීම සිදුකෙරේ.

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණත් එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන බව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බවද ජනාධිපතිවරයා කියාසිටියේය.

දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 අන්තර්ජාතික දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා අන්තර්ජාතික දූෂණ විරෝධී දින සැමරීම සිදුකරනු ලබන්නේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

වසරින් වසර දූෂණය සහ වංචාව වැඩිවීමක් සිදුව ඇති බවත්, එය ලබන වසරේදී අවමකර ගැනීමට නොහැකි නම් අන්තර්ජාතික දින සැමරුම් පැවැත්වීමේ වටිනාකමක් නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය.

2021 වසරේදී අල්ලස් දූෂණ කොමිෂන් සභාව නඩු 69ක් පවරා ඇති අතර, නඩු 40ක් ඉල්ලා අස්කර ගෙන තිබේ.

2022 වසරේදී නඩු 89ක් පවරාඇති අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව නඩු 45 ක් ඉල්ලා අස්කරගෙන ඇත.

මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතු ජනතාවට කිවයුතු බවත් විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

එක් වසරකදී අල්ලස් හා දූෂණ වරදකරුවන් ලෙස කොස්තාපල්වරු දෙදෙනෙක්, ග්‍රාම නිලධාරීවරයෙක් සහ ලිපිකරුවෙක් අල්ලස් හෝ දූෂණ කමිසම් සභාව විසින් වරදකරුවන් කරනු ලැබ ඇති අතර, ශ්‍රී ලංකාවේ නීතිය මකුළුදැලක් ලෙස ක්‍රියාත්මක වී ඇති බව ජනතාව අතර විශ්වාසයක් පවතින බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, පොඩි සතුන් එම දැලට හසුවන බවත් ලොකු සතුන් මකුළුදැල බිඳගෙන යන බවත් කියා සිටියේය.

යළි අපේ රට ගොඩනගනවා නම් රාජ්‍ය පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එසේ නොකර සුවපත් රාජ්‍යයක් ඇති කිරීමට නොහැකි බවද කියාසිටියේය.

නීතිය ක්‍රියාත්මක කරන පුද්ගල සහ ආයතන පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති නිසා යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීමද යුක්තිය ඉටු කිරීමක් නොවන බවද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

එම නිසා ශ්‍රී ලංකාව අල්ලස, දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බවද, පුරවැසියාගේ බලාපොරොත්තුවලට වටිනාකමක් ලබා දීම එමඟින් හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

42.31%
17.27%
32.76%