June 21, 2024

රටට අත්‍යවශ්‍ය ඖෂධ, ඉන්ධන, පොහොර වැනි අත්‍යාවශ්‍ය සම්පත් හිඟය හේතුවෙන් පසුගිය කාලයේ විඳි දුෂ්කරතා අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

අනාගත පරපුරට එවැනි අභියෝගවලට මුහුණදීමට සිදුනොවන බව සහතික කරමින් ශ්‍රී ලංකාව තුළ නව ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම අරමුණු කරගත් රජයේ මුලපිරීම සමග එක්වන ලෙස ඔහු සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (20) පස්වරුවේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවැති සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ (AIPPOA) 9 වැනි මහා සභා රැස්වීම අමතමිනි.

පසුගිය කොවිඩ් 19 වසංගත සහ ආර්ථික අර්බුද හමුවේ රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරමින් නොසැලී කටයුතු කළ සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය වෙත ද ජනාධිපතිවරයා මෙහිදී සිය ප්‍රසාදය පළකළේය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.

“අප මේ රටේ කිසිදිනක අපනයන කර්මාන්තයක් ඇති කළේ නැහැ. අපට අවස්ථා තිබු නමුත් අප ඒ සියලු අවස්ථා අතහැරියා. මම 1979 චීනයට යන විට චීනය අපට වඩා දුප්පත් රටක්. දැන් චීනය අපට මුදල් දෙනවා. 1991 මම කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා මාව හමු වුණා. ඔබ ආයෝජන ලබා ගත්තේ කොහොමද, විදේශ විනිමය ලබා ගත්තේ කොහොමද, වෙළෙඳ කලාප ඇති කළේ කොහොමද කියා ඔහු මගෙන් ප්‍රශ්න කර උපදෙස් ලබා ගත්තා. ඔහු මම දුන් උපදෙස් සටහන් කරගත්තා. නමුත් දැන් මම වියට්නාමයට ගියොත් මට ඔහු කියන දේ සටහන් කර ගැනීමට සිදු වෙනවා.අප අපට තිබු සියලු අවස්ථා අතහැරියා. අප මෙය නිවැරදි කර ගනිමින් නව ආර්ථිකයක් කරා ගමන් නොකළහොත් නැවත රටක් ලෙස අගාධයට ඇද වැටෙනවා. අප නැවත වරක් එම අදුරු යුගයකයට යා යුතුද, දැන් අප නව වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කර තිබෙනවා. පැරණි ක්‍රමයෙන් ඉවත්ව අලුත් ක්‍රමයක් ඔස්සේ ඉදිරියට යා යුතුයි. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් ලබන එම දියුණුවත් සමග අපත් ඉදිරියට යා යුතුයි. තරගකාරි ආර්ථිකයකට යොමු විය යුතුයි. එහිදී කෘත්‍රීම බුද්ධිය වැනි නව තාක්ෂණය භාවිතා කළ යුතුයි. අප අලුතින් සිතා අලුත් රටක් නිර්මාණය කරමු.”

42.31%
17.27%
32.76%