March 11, 2024

එක්සත් ජාතික පක්ෂය කුලියාපිටියේ දී ඊයේ සංවිධාන කර තිබූ ජන රැළියට සහභාගී වු එම පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් ඇතැම් කරුණු විවේචනයට ලක්කළේය.

එහිදී වේදිකාව මත ඉදිකර තිබූ පුළුල් තිරයක් මත ජාතික ජනබලවේගය විසින් අවස්ථා 02 කදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන ද ප්‍රදර්ශනය කරනු දක්නට ලැබිණි.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ, කඩාවැටෙන ආර්ථිකය නගාසිටුවා ජනතාවට ලැබෙන ආදායම දෙගුණයක් කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීම 2020 වසරේ ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වූ බවයි.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “සියයට 50 ක්වත් බේරගත්තා නම් ලොකු දෙයක්. එච්චරයි කිව්වේ, ඒකට ස්වාධීන ආයතනයක් දැම්මලු” යනුවෙනි.

අනතුරුව ජනාධිපතිවරයා ජාතික ජනබලවේගය 2021 වසරේදී ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ද අදහස් පළකළේය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “2021එකේදී ඔවුන් මොනවද කිව්වේ, ‘අපි සැලැස්මක් හදනවා ඊළඟ අවුරුදු පහේ කොහොමද අපේ විදේශ විනිමය වැඩිකරන්නේ කියලා.

මේ තියෙන එක නැති වෙනවා, මොකක්ද මේ සැලැස්ම, සැලැස්ම අරන් ලුණු දාලා මිරිස් දාලා කූණිස්සන් දාලා සම්බෝල හදනවද? කොහෙද කූණිස්සෝ, කොහෙන්ද මිරිස්, කොහෙන්ද ලුණු, ඕවයි ගෙනාවේ, කාටවත් එදා තිබුණේ නෑ. එක්සත් ජාතික පක්ෂයට හැර වෙන කාටවත් ඔය සැලැස්ම තිබුණේ නෑ.” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවැසුවේය.

 

42.31%
17.27%
32.76%