April 25, 2025

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට ජනාධිපති කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.

රැස්වීමකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, වත්මන් ආණ්ඩුවේ බලධාරීන් විසින්ම සජිත් ප්‍රේමදාසට ආණ්ඩු බලය ලබාදෙනු ඇති බවයි.

“අපි හෙමින් යමු. අපිට බලය අල්ලන්න අවශ්‍ය නැහැ. එයාලාම ඒක බාරදීලා යනවා” යනුවෙන් පැවසූ මන්ත්‍රීවරයා, එය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ දෙයට සමාන සිදුවීමක් වනු ඇතැයිද පෙන්වාදුන්නේය.

“ගෝඨාට බැරිම තැන බලය දෙන්න හැදුවා. අපේ නායකයා ඒක භාරගන්න ප්‍රමාද වුණාම රනිල් වික්‍රමසිංහ ගිහින් බලය ගත්තා. මේ පාර ඒකට ඉඩ දෙන්නෙ නෑ. අපිත් මේ පාර සෝදිසියෙන් ඉන්නවා. රනිල් සපත්තු පොලිෂ් කරගෙන ආණ්ඩුව වැටෙනකම් බලාගෙන ඉන්නවා. ඒත් අපි එයාට ඇතුළට යන්න දෙන්නෙ නෑ” කබීර් හෂීම් මන්ත්‍රීවරයා පැවසුවේය.

රට භාරගෙන රට වෙනස් කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා, එය කළහැක්කේ සමගි ජනබලවේගයට බව තමාට විශ්වාසයක් ඇතැයි ද පැවැසීය.