September 19, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය හමුවේ පැවසුවේ ලංකාව නිදහසින් පසුව මුහුණ දුන් විශාලතම අර්බුධය වන විදේශ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වූ දිනය ලෙස අද දිනය ප්‍රකාශයට පත්වූ බවයි.

ශ්‍රී ලංකාව 2022 වසරේ අප්‍රේල් මස 12 වනදා විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

අනතුරුව රට බංකොලොත් වූ බව අමාත්‍යවරයා පැවසුවේය.

එහි ප්‍රතිපලයක් ලෙස රටට විදේශ ආධාරයක් හෝ ණයක් ලබා ගැනීමට නොහැකි වූ බවත්, එම අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡාවලදී ණය තිරසරභාවය පිළිබඳ විශාල ගැටලුවක් මතුවූ බවත්, අනතුරුව ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණයක් සිදු කර ඒ අනුව විස්තීරණ ණය පහසුකම පිළිබඳ ගිවිසුමට ඇතුළත් කර ගැනීමෙන් පසු දිගින් දිගටම කොටස් තුනක් යටතේ මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය සිදුකිරීමට වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ සඳහා ප්‍රථමයෙන් 2023 වසරේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ බවත්, අනතුරුව 2024 දී ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ බවත්, ඉතිරි වී තිබුණේ වාණිජ ණය බවත්, ඒ සඳහා ආණ්ඩුව වෙනුවෙන් විදේශ ණය හිමියන් සමග සාකච්ඡා පැවැත්වූ ප්‍රංශයේ ලසාඩ් සමාගම, ක්ලිපර්ඩ් චාන්ස් සමාගම මැදිහත් වී දීර්ඝමය සාකච්ඡාවකින් පසු අද දිනයේදී වාණිජ ණය හිමියන් සමග අවසන් තීරණාත්මක එකඟතාවයන්ට පැමිණ ගිවිසුම්ගත වීම සිදුවන බව නිල වශයෙන් දැනුම්දීම සඳහා අද පස්වරුවේ කැබිනට් රැස්වීම කැඳවු බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය වෙත පැවසුවේය.

එය රටක් වශයෙන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවත්, මින්පසුව රට බංකොලොත්භාවයෙන් මිදී ඇති වූ අවබෝධතාවය මත එකඟතාවයන් මත ඉදිරියට නිදහස් රටක් ලෙස ණය ගෙවීම සඳහා වන ගිවිසුම් සම්බන්ධතාවය ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.