September 3, 2024

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය වෙනුවෙන් සමාව අයැද සිටී.

එම තත්ත්වය නිවැරදි කිරීමට රජය දැඩි කැපවීමෙන් කටයුතු කරන බවට ජනාධිපතිවරයා ජනතාවට සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මහජනතාව මේ සම්බන්ධයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බව ජනාධිපති වික්‍රමසිංහ පිළිගෙන තිබේ.

කෙසේවෙතත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය ඩිජිටල්කරණය කිරීමට රජය කැපවී සිටින බව ඔහු සඳහන් කර ඇත.

රටේ සේවාවන් නවීකරණය කිරීමට සහ පුරවැසියන් සඳහා කාර්යක්ෂමතාව වැඩි කිරීමට රජය දරන උත්සාහයට අනුකූලව ඩිජිටල් පරිවර්තන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් කොළඹදී ඊයේ සංවිධාන කළ “ඕනෑම දෙයක් මගෙන් අසන්න” විශේෂ වැඩසටහන අමතමිනි.