August 15, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන එක්ව රජයට අයත් ‘චැනල් අයි’ නාලිකාව, පසුගිය ජූනි 30 වැනිදා සිට මාස හයකට බලපැවැත්වෙන පරිදි මසකට රුපියල් මිලියන 250කට ලයිකා මොබයිල් ආයතනයට (VIS Broadcasting (Pvt.) Ltd) රහසිගතව විකුණා ඇතැයි ජාතික ජන බලවේගය චෝදනා කරයි.

චැනල් අයි නාලිකාවේ විකාශන කාලය කිසිදු විනිවිද භාවයකින් තොරව විකුණා ඇති බව දැනගැනීමෙන් අනතුරුව රූපවාහිනී සේවකයන් සහ ජනතාව විරෝධය දැක්වීමත් සමඟ ජනමාධ්‍ය ඇමැතිවරයා එම පවරාගැනීමට අදාලව පෙරේදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස අනාවරණය කළේය.

කෙසේ වෙතත් එම කැබිනට් මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලබාදී නොමැති බවද ඔහු කියා සිටියේය.

වෛද්‍ය නලින්ද අනාවරණය කළ ආකාරයට “VIS Broadcasting හි වැඩසටහන් විකාශනය කිරීම සඳහා චැනල් අයි නාලිකාව භාවිත කිරීමට සැලසුම් කර ඇත.

VIS Broadcasting ආයතනය ලයිකා මොබයිල් (Lycamobile) සතු වේ.

මාස හයකට චැනල් අයි ආයතනයේ අයිතිය පවරා දී එය වසර 02ක් දක්වා දීර්ඝ කිරීමට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා සැලසුම් කර තිබුණු බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළේය.