December 8, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ නව රජයේ ප්‍රතිපත්ති බෙදාහදා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඊට අමතරව ලබන මස මුලදී ජනාධිපතිවරයා චීනයේ නිල සංචාරයක ද නිරත වීමට නියමිතව තිබේ.

ආයෝජන ආකර්ෂණය කර ගැනීම, අත්හිටවූ ව්‍යාපෘති අඛණ්ඩව කරගෙන යෑම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා එම සංචාරයේදී අවධානයට ලක් වනු ඇත.

ඉන්දීය සංචාරයේ දී දෙරට අතර නවදිල්ලි නුවරදී අත්සන් කිරීමට බලාපොරොත්තු වන අවබෝධතා ගිවිසුම් පිළිබඳව ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව විදේශ ඇමැති විජිත හේරත් පවසයි.

විශේෂයෙන්ම විදුලිබල ක්ෂේත්‍රයේ ඉන්දීය ආයෝජන ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ ඇති බව ඔහු සඳහන් කර ඇත.

මෙම සංචාරය යෙදී ඇත්තේ දෙසැම්බර් මස 16 වැනි දිනය.

ජනාධිපතිවරයා සමඟ යෑමට නියමිත දූත පිරිස පිළිබඳ රජය කටයුතු කරමින් සිටියි.

ලබන මස මුලදී ජනාධිපති දිසානායක චීනයේ නිල සංචාරයක් සිදුකිරීමට නියමිත බවත්, අධ්‍යාපනය සහ තාක්ෂණය පිළිබඳ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිත බවත් ඇමැති හේරත් සඳහන් කර තිබේ.

චීන අරමුදල් සපයා පසුව අත්හිටවූ අධිවේගී මාර්ග ව්‍යාපෘති ද මෙම සංචාරයේදී සාකච්ඡාවට ගැනෙන විෂයයන් අතර වන බව ඔහු සඳහන් කර ඇත.

“චීන රජය ශ්‍රී ලංකාවට ව්‍යාපෘති කිහිපයක් සඳහා අරමුදල් සපයා තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා රටට සහායත් ලබා දී තිබෙනවා. අමතර ආධාර අතරට ඩිජිටල්කරණ ව්‍යාපෘතියක් සහ පාසල් සඳහා ප්‍රදානයක් ලෙස ලබන වසර සඳහා ළමුන් සඳහා පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමත් ඇතුළත්. එබැවින් තවදුරටත් ආර්ථික සහාය ලබා ගැනීමටත් සබඳතා ශක්තිමත් කර ගැනීමටත් මෙම සංචාරය ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරනවා” යැයි ඇමැතිවරයා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%