December 5, 2023

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව වෙනුවට උපුල් තරංගගේ නායකත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් නිල වශයෙන් නුදුරේදීම පත්කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය තහවුරු කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රිකට් තේරීම් කොමිසම සඳහා අවශ්‍ය නීතියට අනුව නම් 10ක් නම්කර ඇති අතර, පසුගිය තේරීම් කමිටුවේ සාමාජිකයන්ව සිටි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න යන අයද නව කමිටුවට නම්කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

පසුගිය තේරීම් කමිටුවේ නම් නොසළකා හරිමින් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මෑතකදී විශ්‍රාම ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් තේරීම් භූමිකාවන් සඳහා පත්කිරීමේ ගෝලීය ප්‍රවණතාවය අනුව යමින් උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව කමිටුවක් පත්කරන බවයි.

පාකිස්ථානය පසුගියදා ප්‍රධාන තේරීම්කරු ලෙස 38 හැවිරිදි වහබ් රියාස් පත්කළ අතර 37 හැවිරිදි ලූක් රයිට් එංගලන්ත ක්‍රිකට් තේරීම්කරු ලෙස කටයුතු කරන අතර ඔවුන් දෙදෙනාම මෑතක් වනතුරුම පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාකර ඇත.

දෙවසරකට පත්කෙරෙන නව තේරීම් කමිටුවට උපුල් තරංග සමඟ අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා සහ තරංග පරණවිතාන එක්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

2020 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් උපුල් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 300කට ආසන්න ප්‍රමාණයකට ක්‍රීඩාකර ඇති අතර එහිදී ශතක 18ක් සමඟින් ලකුණු 9,000කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇත.

මෙම පිරිස නිල වශයෙන් පත්කළහොත් නිල පත්වීම සිදු කළහොත්, උපුල් තරංග ඇතුළු තේරීම් කමිටුව ජනවාරි මාසයේදී සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සිදුකරනු ඇත.