September 13, 2024

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මරණින් පසු පිරිනමනු ලබන ජනාධිපති සමාවක් පිරිනමා තිබේ.

මෙම මහතාට මරණින් පසු ජනාධිපති සමාව පිරිනමා ඇත්තේ 1915 ජුලි 7 වැනි දින නීති විරෝධී අයුරින් මරණයට පත් කරනු ලැබූ දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් වෙතය.

1915 ජූනි 25 දින එවක ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ රොබට් චාමස් විසින් පත් කරන ලද යුධ අධිකරණයක් විසින් අසාධාරණ නඩු විභාගයකින් පසු නීති විරෝධී අයුරින් මරණයට පත් කරනු ලැබූ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් වෙනුවෙන් මරණින් පසු ජනාධිපති සමාව ප්‍රදානය කරන බව අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කැරලිගැසීම් සහ රාජද්‍රෝහී චෝදනාවට අසාධාරණ ලෙස ලක්වූ පේද්‍රිස්ට එල්ල වූ සාවද්‍ය මරණ දඬුවම නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ) සහ 34 වැනි ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී ඇති බලතල උපයෝගී කරගනිමින් මෙම සමාව ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

පේද්‍රිස්ට සහ ඔහුගේ පවුලේ අයට යුක්තිය පසිඳලීම සඳහා පේද්‍රිස්ට මරණ දඬුවම ලබාදීමේ තත්ත්වය සමාලෝචනය කර නිර්දේශ සහිත වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට 2023 දෙසැම්බර් මාසයේදී විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.