September 5, 2024

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ආරම්භක දිනය වූ ඊයේ (4දා) ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම් ගැන මැතිවරණ කොමිසමට හා නිරීක්ෂණ සංවිධානවලට පැමිණිලි ලැබී ඇත.

එහිදී ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ආරම්භක දිනය වූ ඊයේ (4දා) ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය යැයි සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු ෆේස්බුක් ඔස්සේ ව්‍යාජ තොරතුරක් බෙදාහැර ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු සත්‍යාපනය පිළිබඳව නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සඳුන් අරෝෂ ප්‍රනාන්දු මෙසේ අසත්‍ය තොරතුරු බෙදාහැර ඇති බව මෙම පැමිණිල්ලේ සඳහන් වේ.

නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ(4දා) පෙරවරු 11.00 වන විට පැවැති අගය යැයි දක්වමින් ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීමක් ලෙසින් ෆේස්බුක් පෝස්ටුවක් නිර්මාණය කර තිබූ අතර එහි රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාට ඡන්ද භාවිත කළ ප්‍රතිශත බවට ව්‍යාජ තොරතුරු දැක්වීමක් කර ඇත.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරීමක්වත් සිදුනොකළ පසුබිමක මෙසේ ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රතිශතය එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති ආකාරය බවට හැඟී යන සේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම බරපතළ වරදක් යැයි මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය කොමසාරිස් (ආරාවුල් නිරාකරණ) පියුමි ආටිගල මෙනෙවිය ‘මව්බිම’ට පවසා ඇත.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යභාරය පැවැරී ඇත්තේ මැතිවරණ කොමිසමට යැයිද ඡන්ද ගණන් නොකළ පසුබිමක මෙවැනි තොරතුරක් බෙදාහැරීම මුළුමනින්ම ජනතාව නොමඟ යැවීමක් යැයි ද ඇය අවධාරණය කර ඇත.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත බව දක්වමින් ෆේස්බුක්හි පළකළ පෝස්ටු ඉවත් කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියාකළේ යැයිද, ඒ අනුව මෙම වරද සම්බන්ධයෙන් ගතයුතු පියවර මැතිවරණ කොමිසම තීන්දු කරන්නේ යැයිද එහි කොමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා සඳහන් කර තිබේ.

තැපැල් ඡන්ද ගණන් කෙරෙන්නේ ලබන 21 වැනිදා යැයිද එසේ තිබියදී ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශත යැයි හැඟෙන අයුරින් තොරතුරු බෙදාහරින්නේ කෙසේදැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රශ්න කර ඇත.

මෙමඟින් සම්පුර්ණයෙන්ම කෙරෙන්නේ තමන්ගේ අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම යැයිද සමාජ මාධ්‍යකරුවන්ට මැතිවරණ නීති ගැන පැහැදිලි අවබෝධයක් නැතැයිද සමන් රත්නායක වැඩිදුරටත් පවසා තිබේ.