July 29, 2023

තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය නොකරන නමුත්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් මඟින් එය නවීකරණයට නව නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර සඳහන් කරයි.

2022 වසරේ තැපැල් සේවයේ ආදායම රුපියල් මිලියන 7,000ක් වුවද එහි වියදම මිලියන 14,000ක් වූ බව හෙතෙම පෙන්වාදෙයි.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමය දක්වා දිවෙන මෙරට තැපැල් ආඥාපනත ප්‍රතිසංස්කරණය කර නව පනතක් ගෙන එන බව ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

නව පනත සම්පාදනයේ වැඩ කටයුතු සියයට අසූවක් අවසන් බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඔහු සඳහන් කරයි.

තැපැල් සේවාව නවීන හා ලාභදායී බවට ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ රාජ්‍ය-පෞද්ගලික හවුල් අයිතියක් ක්‍රියාත්මක කළයුතු බවද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වාදෙයි.

එමෙන්ම මෙම නවීකරණ වැඩසටහන සඳහා පෞද්ගලික අංශයෙන් බිලියන 10ක් සහ රාජ්‍ය අංශයෙන් බිලියනයක් ලබා ගන්නා බවත්, ඉදිරියේදී විභාග, උප්පැන්න, මරණ, විවාහ, ඉඩම් වැනි සහතික ඩිජිටල්කරණය මඟින් ලබාගත හැකි බවත් සඳහන් කළ හතේම, 2025 වන විට රාජ්‍ය භාණ්ඩාගාරය මත තවදුරටත් රඳා නොපවතින තැපැල් සේවාවක් ඇති කිරීම මූලික අරමුණ බවත් සඳහන් කරයි.