42.31%
17.27%
32.76%
July 5, 2024

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං බලාගාර සංවර්ධනය කිරීමේ අදානි ව්‍යාපෘතියේ පාරිසරික වාර්තා සහ ශක්‍යතා අධ්‍යයනය තවමත් සිදුවෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කළේය.

එම කටයුතු අවසන් වූ පසු දැනට පවතින මිල කොන්දේසි යටතේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කරන බව රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

සුළං බලාගාර සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ Adani Green Energy Limited සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට 2022 දී ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සීමාසහිත Adani Green Energy සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව ඇගයීම සඳහා පත් කරන ලද සාකච්ඡා කමිටුවේ නිර්දේශ අනුව මිල ගණන් අනුමත කර ඇත.

සීමාසහිත Adani Green Energy SL සමාගමට වසර 20ක කාලයක් සඳහා මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමටද අනුමැතිය හිමි විය.

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශයේ සුළං බලාගාර සංවර්ධනය කිරීම සඳහා අදානි ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝවොට් එකක් ඩොලර් ශත 8.26ක් බැගින් මිලදී ගැනීමට මේ වසරේ මැයි මාසයේදී කැබිනට් අනුමැතිය හිමි විය.

එම අවස්ථාවේදී රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවනු ලබන අනුපාත විදේශ විනිමය අනුපාත වෙනස්වීම්වලට යටත් වන බවයි.

අදානි ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ පැවසුවේ අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනයන් අවසන් කිරීමෙන් පසු වත්මන් මිල කොන්දේසි යටතේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කරන බවයි.

ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (ජූලි 04) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක වීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇණහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන බවත් විදුලි අර්බුදය විසඳීමට එය ඉමහත් පිටිවහලක් වනු ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ද්විපාර්ශ්වික ණය දෙන රටවල් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන් කළ ඔහු, මෙම විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය ගැටලු නිරාකරණය කර ගත් බව ද පැවසීය.

42.31%
17.27%
32.76%