January 21, 2024

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සම්මානනීය ජනප්‍රිය නිළියක වන පූජා උමාශංකර් කලා දිවියෙන් සමුගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසීමට අදහස් කරගෙන සිටින බවට පසුගියදා තොරතුරක් වාර්තා විය.

සිය පෞද්ගලික අභියෝග හා බලාපොරොත්තු සුන් වීම් නිසා කලකිරුණු පූජා ශ්‍රී ලංකාවෙන් සමුගෙන පසුගියදා යළි ඉන්දියාවට ගොස් තිබේ.

එහිදී ශ්‍රද්ධාවෙන් යුතුව තම ජීවිතය ගෙන යෑම සඳහා මෙලෙස ආධ්‍යාත්මික පැත්තට යොමු වී ඇති බව දැනගන්නට ඇතැයි ද වාර්තා පළ වී තිබුණි.

ජනප්‍රිය නිළි පූජා උමශංකර් සිනමාවෙන් ඉවත්වී අධ්‍යාත්මික ජීවිතයකට යොමුවීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ පළවූ පුවත සම්බන්ධයෙන් ඇය ඉන්දියාවේ බැංගලෝරයේ සිට ප්‍රතිචාර දක්වා තිබේ.

මේ පිළිබඳව පෞද්ගලික රූපවාහිනී නාලිකාවන පුවත්පත් ඉදිරිපත් කිරීමේ වැඩසටහනකට පූජාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අදහස් විමසා ඇත.

තමා මේ වනවිට ඉන්දියාවේ බැංගලෝරයේ නිවසේ සිටින බවත් බයිබල් අධ්‍යයනය, ඉවුම් පිහුම් ඉගෙනීම, ගෙවතු වගාව හා සුරතල් මාළු ඇති කිරීම වැනි වැඩ කරමින් කල් ගෙවන බවත් ඇය පවසා තිබේ.

ආරංචියේ තිබුනේ ඇය කතෝලික පල්ලියකට සම්බන්ධවී ඉදිරි ජීවිතය ගතකිරීමට යොමුුව ඇති බවටය. මේ ගැන විමසීමේදී ඇය කියා සිටියේ තමා දිගු කාලයක සිට කිතුණු දහම සම්බන්ධ ඉගනීම සිදුකරන බවත් මේ නිසා සමාජ මාධ්‍ය තුළ තමා එම දහමේ පණිවිඩ නිරන්තරයෙන් බෙදාගත් බවයි. නමුත් එය තමන්ගේ ආශාවට සිදුකළ අධ්‍යයනයක් පමණක් බව ඇය කියා තිබේ.

විවාහයන්ගේ අසාර්ථකත්වය නිසා ජීවිතය කලකිරී සිනමාවෙන් සමුගැනීම යන්නට ඇය පිළිතුරක් සපයමින් පවසන්නේ තමා සිංහල සිනමාවෙන් සමුගත්තේ මීට වසර 8 කට පෙර 2016 දී බවයි.

තමන්ගේ අවසන් චිත්‍රපට රංගනය සරිගම වූ බවද ඇය කියන අතර එම සමුගැනීම ඒ දිනවලම තමා නිවේදනය කළ බවත් අලුතින් ඒ ගැන සඳහන් කරමින් 2024 පුවතක් පළවීම සිදු කළ යුතු දෙයක් නොවන බවත්ය. කෙසේ වෙතත් පූජා විවාහය ගැන කිසිවක් කථා නොකිරීමට මෙම ප්‍රශ්න කිරීමේදී වග බලාගත්තාය.

ඇය ලංකාව අතැර ගොස් නැති බවත් වරින්වර ඇවිත් යන බවත් මෙහිදී කියා සිටි අතර ජනවාරියේ එන්නට සිටි ඇය ජුනි මස නැවත එන්නට අවස්ථාවක් සලසාගෙන ඇති බවද පවසා ඇත.

තමා ගෙදරටවී තමන්ට ජීවිතයේ මගැහැරුණ විවිධ දේ ගැන ඉගෙනීම් කටයුතු කරගෙන සතුටින් සිටින බවත් පූජා අවසන් වශයෙන් කීවාය.

කෙසේ නමුත් මේ තීරණය නිසා ඇයට ආදරය කරන බොහෝ පිරිස් වඩාත් කණස්සල්ලට පත් වී සිටිති.

ශ්‍රී ලාංකීය ‘සම්භවයක්’ සහිත පූජාව මෙරටට හඳුන්වා දීමේ සම්පූර්ණ ගෞරවය හිමි වන්නෙ චන්න පෙරේරා ටය. පූජා මේවන විට 42වැනි වියෙහි පසුවන අතර කන්නඩ, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් ද මනාව හැසිරවීමේ හැකියාව තිබීමත් විශේෂ ය.(දිනමිණ)