42.31%
17.27%
32.76%
May 3, 2024

දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් මෙවර වැයකර ඇතැයි ‘ලංකාදීපය’ අනාවරණය කරයි.

එම වාර්තාවට අනුව උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැලි සංවිධාන කිරීමට ඉතිහාසයේ වැඩිම මුදල වැය කිරිමට මෙවර සිදුවූ බව දේශපාලන පක්ෂ නායකයෝ පවසා ඇත.

දේශපාලන පක්ෂ වැඩි මුදලක් මෙවර වැයකර ඇතැයි පැවසෙන්නේ මැයි රැලිවලට ජනතාව රැගෙන ඒම සඳහා ප්‍රවාහන වියදම් වෙනුවෙනි.

සෙසු මුදල් වැයවී ඇත්තේ වේදිකා සකස් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර ලබාගැනීම සහ ආලෝක කරන කටයුතු, රැස්වීම් අවට ප්‍රදේශ සැරසිලි කිරීම, පාක්ෂිකයන්ට ආහාර පාන ලබාදීම යනාදී කටයුතු වෙනුවෙනි.

මැයි රැලි සහ පෙළපාළි සංවිධාන කිරීම සඳහා බොහෝ දේශපාලන පක්ෂ අරමුදල්වලින් වැඩිම බරපැනක් දැරූ බව සඳහන් කරන පක්ෂ නායකයෝ, ආසන සංවිධායකවරුන් සහ විවිධ දානපතීන් ද මැයි රැලි සංවිධාන කිරීමට උදව් කළ බව ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා ඇත්තේ, ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුමට මෙවර වැඩිම මුදලක් වැය කිරීමට සිදුවූ බවයි.

ජාතික ජන බලවේගයේ මැයි දින රැස්වීම් දිස්ත්‍රික්ක හතරක පැවැත්වුණ හෙයින් වියදම එසේ ඉහළ ගිය බව ද ඔහු සඳහන් කර ඇත.

වේදිකාව, ශබ්ද විකාශන, ආලෝක පද්ධති සහ සුළු ප්‍රචාරණ කටයුතු කිහිපයකට පමණක් පක්ෂ මූලස්ථානය වියදම් දරන බවත් සෙසු වියදම් සියල්ල දිස්ත්‍රික්කවල සංවිධායකවරුන් ඒකාබද්ධ වී දරන බවත් හෙතෙම සඳහන් කර තිබේ.

මැයි රැලිය සඳහා අනුරාධපුර වැනි දුරබැහැර ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන බස් රථයකට රුපියල් එක් ලක්ෂ පනස් දාහක් වැනි ඉහළ මුදලක් ගෙවීමට සිදුවූ බව මේ අතර ආසන සංවිධායකවරු පවසා ඇත.

සමගි ජන බලවේගය මැයි රැලිය සංවිධාන කිරීමට ද මෙවර විශාල මුදලක් වැයවූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබේ.

රට පුරා මැයි රැලි හතළිහක් පෙරේදා (1) පැවැත්වුණු අතර කොළඹ නගරයේ පමණක් පැවැත්වුණු මැයි රැලි ගණන 14කි.

42.31%
17.27%
32.76%