September 17, 2024

දේශපාලන වාසි තකා විශේෂයෙන් 2022 අරගලය විරෝධතා ව්‍යාපාරයේදී සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව නොමඟ යවන සුළු වීඩියෝ පට හුවමාරු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

කටුනායක ගුවන් තොටුපළ අසළ වාහන පරීක්‍ෂා කිරීම්, 2022 මැයි 9 වැනිදා ඇඳිරි නීතිය පැනවූ දර්ශන වැනි දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ සිදුවීම්වල වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ ප්‍රතිවර්තනය වෙමින් පවතින බව අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම වීඩියෝ පට මගින් අතීත සිදුවීම් කාලීන සිදුවීම් ලෙස ඉදිරිපත් කරමින් අසත්‍ය තත්වයන් නිර්මාණය කරමින් මහජනතාව නොමග යවමින් නීතිය හා සාමය කඩවීමට ඉඩ ඇති බව පොලිසිය පවසයි.

එවැනි සත්‍ය බව තහවුරු නොකළ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා බෙදාහැරීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ අන්තර්ගතයන් පළකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කරයි.