January 6, 2024

හෙරොයින් කිලෝ පහකට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවකින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ යැයි කියන අලුත්ගමගේ නිලංකා රසානි සහ ඇගේ සගයකු වන මොහොමඩ් සෆීර් නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඊයේ (05) නියෝග කර ඇත.

එවැනි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ වැටළීමක් සත්‍ය වශයෙන්ම සිදුවූයේදැයි ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව තම අධිකරණයට ගැටලුවක් පවතින්නේ යැයි පෙන්වා දුන් විනිසුරුවරයා එම තීන්දුව නිකුත් කර තිබේ.

කොස්ගොඩ තාරක නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය තොගයක් ඔහුගේ අනියම් බිරිය යැයි කියන කාන්තාවකට භාරදීමට සැලසුම් කර ඇති බවට ලැබුණ තොරතුරක් අනුව 2019 නොවැම්බර් මස 22 වැනිදා රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී එම වැටළීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සාක්‍ෂිවලින් අනාවරණය වී ඇති නමුත්, වැටළීම් පිළිබඳ මනා පළපුරුද්දක් ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විත්තිකාරිය පරීක්‍ෂා කිරීම සඳහා කාන්තා පොලිස් නිලධාරිනියක් සම්බන්ධ කර නොගැනීම බලවත් ගැටලුවක් බවත් විනිසුරුවරයා සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දී ඇත.

එවැනි මත්ද්‍රව්‍ය තමන් සන්තකයේ නොතිබූ බවට විත්තිය මුල් අවස්ථාවේ සිටම ප්‍රතික්‍ෂේප කර තිබියදීත් විත්තිය භාරයේ ඒවා තිබූ බවට පැමිණිල්ලේ කිසිදු සාක්‍ෂියක් මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නැතැයි ද විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සිය තීන්දුව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.

එම වැටළීමේදී විත්තිකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 13කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පැමිණිල්ලෙන් පෙන්වා දී තිබූ අතර, රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව අනුව එහි ශුද්ධ හෙරොයින් කිලෝ පහක ප්‍රමාණයක් තිබූ බව අනාවරණය වීම නිසා එම නඩුව පවරා තිබිණි.(දිවයින)

42.31%
17.27%
32.76%