September 1, 2024

ගංජා සමග අත්අඩංගුවට ගත් යතුරුපැදියක් අධිකරණයට ඉදිරිපත් නොකර මුදාහැරීමට රුපියල් විසිදහසක අල්ලසක් ගත්තේ යැයි කියන මතුගම පොලිසියේ නඩු භාණ්ඩ නිලධාරි පොලිස් සැරයන් හා මතුගම ප්‍රාදේශීය සභාවේ පාන්තිය ආදාහනාගාරයේ සහායක ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (30) නියෝග කළේය.

පොලිස් සැරයන් වික්ටර් අතුකෝරල සහ ප්‍රදීප් කුමාර යන සැකකරුවෝ මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීහු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් මුරපොළේදී සැකකරුවන් පැමිණිලිකරුගෙන් මුදල් ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට පැවසීය.

අල්ලස් කොමිසමේ නිලධාරීහු ඉදිරිපත් කරමින් මෙසේද පැවසූහ.

පසුගිය 09 වැනි දින වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය මතුගම පොලිසියේ නිලධාරීන්ට පැමිණිලිකරු සමග සිටි වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර, වරෙන්තුකරු පොලිසියට ඉදිරිපත් කරන තෙක් පල්සර්’ වර්ගයේ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.

වරෙන්තුකරු නොමැතිව පසුදා යතුරුපැදිය ලබාගැනීමට පොලිසියට ගිය පැමිණිලිකරුට යතුරුපැදියේ ගංජා තිබූ හෙයින් නඩු දමන බව පොලිස් නිලධාරීන් සඳහන් කර තිබේ.

යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර මුදාහැරීම සඳහා මුදල් දෙන ලෙසද සඳහන් කර ඇත.

ගංජා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පසුගිය 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැමිණිලිකරුට අධිකරණය දඩ නියම කර ඇති අතර ඊට පසුව යතුරුපැදිය ලබාගැනීමට මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.