August 28, 2024

දිවයින පුරා පිහිටි බොහෝ පොලිස් ස්ථානවල අත් විලංගු(මාංචු), සපත්තු, මේස් සහ බැනියම්වල දැඩි හිඟයක් කාලයක සිට පවතින බව, පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.

අත් විලංගු හිඟය බොහෝ පොලිස් ස්ථානවල දැඩි ලෙස තිබෙන බවත්, දැනට තිබෙන සමහර අත් විලංගු අක්‍රිය තත්වයක පවතින බවත්, එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අක්‍රිය තත්ත්වයේ පවතින අත් විලංගු සැකකරුවන්ට දමා තිබියදී එම අත් විලංගු ගලවාගෙන සැකකරුවන්ට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළායෑමට හැකියාවක් ලැබී ඇති බව ද පොලිස් නිලධාරීහු පෙන්වාදෙති.

පොලිස් අත්අඩංගුවෙන් මිදී සැකකරුවකු පළාගියහොත්, සැකකරු භාරව සිටින පොලිස් නිලධාරියාගේ හෝ නිලධාරීන්ගේ හෝ සේවය අත්හිටුවීම ද සිදුවන බව පොලිසිය සඳහන් කරයි.

අත් විලංගු ගලවාගෙන සැකකරුවන් පළායෑමේ සිද්ධි ගණනාවක් පසුගිය කාලය තුළ වරින් වර වාර්තා වී තිබෙන බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.

පොලිස් නිලධාරීන් බොහෝදෙනකු පැවැසුවේ, සපත්තු, මේස් සහ බැනියම් තම පෞද්ගලික වියදමින් මිලදීගෙන පැළඳීමට සිදුවී තිබෙන බවත්, මේ නිසා තමන් දැඩි අපහසුතාවකට හා දුෂ්කරතාවකට මුහුණපා සිටින බවත්ය.

මෙය අභ්‍යන්තර පරිපාලන කටයුත්තක් නිසා, මේ සම්බන්ධයෙන් කරුණු කාරණා සොයාබැලීමෙන් අනතුරුව මේ සම්බන්ධව පැහැදිලි පිළිතුරක් ලබාදිය හැකි බව, ‘ලංකාදීප’ය කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කර ඇත.