October 29, 2024

පසුගියදා හදිසි අනතුරකට ලක්වූ හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ වාහනය වීඩියෝ කළ සිවිල් වැසියෙකුට එරෙහිව පොලිස් නිලධාරියෙකු සිදුකළ ක්‍රියාව හෙළාදකින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පැවසුවේය.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී, ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදියකු කළ විමසීමකදී අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, සිද්ධිය වන අවස්ථාවේ වාහනය තුළ බලපත්‍ර සහිත ගිනි අවි තුනක් තිබී ඇති බව හා එය වීඩියෝගත කිරීමට ජනතාව පෙළඹුණු බවයි.

“ආණ්ඩුව බලපත්‍රලාභීන් ද ඇතුළුව හැමෝගෙන්ම ඉල්ලා තිබුණේ නොවැම්බර් 07 ට පෙර ආයුධ ආපසු දෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සමාලෝචනය කර වාර්තා ලබාගැනීමෙන් පසු ඒවා ආපසු ලබාදීමට සළකාබලන බවත් කිව්වා. නමුත් මේ අයගෙන් සමහර අය ආයුධ ආපසු ලබා දී නැහැ,” ඔහු පැවැසීය.

ප්‍රසිද්ධ සිදුවීම්වලදී මෙවැනි ආයුධ හමු වූ විට එය මහජන කැළඹීමක් ඇතිවන බවත් එය වැළැක්විය නොහැකි බවත් අමාත්‍ය විජිත හේරත් පැවසුවේය.

එම තත්ත්වය තුළ පොලිස් නිලධාරියකුගේ මෙවැනි මැදිහත්වීමක් පිළිනොගන්නා බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේය.

“වාහන වීඩියෝ කළ පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු තර්ජනය කර ඇති බව පැහැදිලියි. එය වැරදියි. ඔහුට එසේ කළ නොහැකියි. එවැනි සිදුවීමක් වීඩියෝ කිරීම ඕනෑම පුද්ගලයකුගේ අයිතියක්,” අමාත්‍යවරයා පැවසීය.

සිදුවීම වූ ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් නොවන බව පෙන්වා දුන් අමාත්‍ය විජිත හේරත්, පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය වැරදි බවත්, ඇතැම් නිලධාරීන් දිගින් දිගටම මේ ආකාරයෙන් හැසිරෙන බවත් කියාසිටියේය.

පොලිස් නිලධාරීන්ගේ මෙවැනි හැසිරීම් වැළැක්විය යුතු බව පැවසූ අමාත්‍යවරයා, අදාළ නිලධාරියාට එරෙහිව පියවර ගන්නා ලෙස දැනටමත් උපදෙස් ලබාදී ඇති බව ද පැවසුවේය.

42.31%
17.27%
32.76%