October 17, 2024

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වංචාවලට සම්බන්ධ විදේශිකයින් කිහිපදෙනෙකු, වැඩි වශයෙන් චීන ජාතිකයන් පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් පසුව, නීති සහ රෙගුලාසි යාවත්කාලීන කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන්ගෙන් පොලිසිය දැන් මගපෙන්වීම අපේක්ෂා කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ, වෙනස් වන අපරාධ උපක්‍රමවලට සමගාමීව පවතින නීතිරීති ද වර්ධනය වියයුතු බවයි.

ප්‍රධාන වශයෙන් මාර්ගගත වංචා සම්බන්ධ නීති යාවත්කාලීන කළ යුතු බව ඔහු පෙන්වාදෙයි.

පරිගණක අපරාධ පනත යටතේ පොලිසිය මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර, නවීන තාක්‍ෂණික වෙනස්කම් ඉලක්ක කිරීමට සහ ඇතැම් අපරාධ වඩාත් සාර්ථක ලෙස වැළැක්වීමට පනතේ නීති ශක්තිමත් කළ යුතු බව ඔහු පවසයි.

විදේශිකයින් විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන අන්තර්ජාල ජාවාරම් ඉහළයෑමේ ප්‍රවණතාවක් පවතින බව නියෝජ්‍ය පොලිස්පති තල්දූව පෙන්වාදෙයි.

පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලය ඔස්සේ වංචාවලට සම්බන්ධ විදේශිකයන් 300කට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 500කට ආසන්න සන්ක්යාවක් සහ පරිගණක 300ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

නවතම සිදුවීමක් ලෙස අන්තර්ජාලය හරහා මූල්‍ය වංචාවලට සම්බන්ධ බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු විදේශිකයින් 10 දෙනකු පසුගිය අඟහරුවාදා (15) රාත්‍රියේ හලාවත හෝටලයකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

හලාවත – ඉරණවිල පාරේ පිහිටි හෝටලයක විදේශීය ජාතිකයන් පිරිසක් නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරක් මත පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මැලේසියානු ජාතිකයන් සිව්දෙනෙකු, කාන්තාවක ඇතුළු ඉතියෝපියානු ජාතිකයන් සිව්දෙනකු, කෙන්යානු කාන්තාවක සහ චීන ජාතිකයකු ද වූ බව පොලිසිය පැවැසීය.

අන්තර්ජාල වංචාවන්ට සම්බන්ධ අයට නවාතැන් සපයන පුද්ගලයන්ට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කළ හැකි බවද පොලි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වංචාවලට සම්බන්ධ සැකකරුවන් සඳහා මහල් නිවාස හෝ නිවාස ලබාදෙන්නන් සම්බන්ධයෙන් වන නීති දැඩි කළයුතු බවද ඔහු පවසයි.

42.31%
17.27%
32.76%