August 14, 2024

හිම වලසුන් දෙදෙනකු විසින් කැනඩාවේ උතුරු නුනාවුට් ප්‍රදේශයේ දුරස්ථ ආක්ටික් රේඩාර් මධ්‍යස්ථානයක සේවයේ නියුතුව සිටි සේවකයකු මරාදමා ඇත.

එලෙස හිම වලසුන් විසින් මිනිසුන්ට පහර දී මරාදැමීම දුර්ලභ සිද්ධියක් බවත් කැනේඩියානු බලධාරීන් ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

එම සේවකයාගේ අනන්‍යතාව හෙළිකර නොමැති අතර ඔහු කැනේඩියානු රජය වෙනුවෙන් රේඩාර් ආරක්ෂක අඩවි ක්‍රියාත්මක කරන ලොජිස්ටික් සමාගමක් වන Nasittuq Corporation හි සේවය කරමින් සිටි බව සදහන් වේ.

සිද්ධිය වාර්තාවීමත් සමග අනෙක් කම්කරුවන් එම ස්ථානයට කඩිනමින් පැමිණ ඇති අතර ඔවුන් එක් වලසකු මරාදැමූ බව සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

“මෙම සිද්ධිය සම්බන්ධ තත්ත්වයන් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට අපි පළාත් පාලන ආයතන සහ නියාමන ආයතන සමඟ සමීපව කටයුතු කරමින් සිටිමු” යනුවෙන් සමාගම පවසයි.

පසුගිය සතියේ බැෆින් දූපතට ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙවෝර්ට් දූපතේදී එම ප්‍රහාරය එල්ල වී තිබේ.

සැතපුම් 3,100 (කිලෝමීටර් 5,000) පුරා විහිදෙන රේඩාර් ආරක්ෂක ජාලය කලාපයට ඇතුළු වන ගුවන් යානා හෝ මිසයිල හඳුනාගැනීමට ස්ථාපිත කර ඇත.

හිම වලසුන් මිනිසුන්ට පහරදීම අතිශයින් දුර්ලභ වේ.

මෙම සිදුවීම 2023 සිට හිම වලසුන්ගේ ප්‍රහාරයකින් වාර්තා වූ දෙවැනි මරණයයි.

පසුගිය වසරේ ඇලස්කාවේ ගම්මානයකදී කාන්තාවක් සහ ඇගේ අවුරුද්දක් වයසැති පුත්‍රයා හිම වලසකු විසින් මරා දමන ලදී.

කැනේඩියානු රජයට අනුව හිම වලස්සු 17,000 ක් පමණ රට තුළ ජීවත්වෙති..

එය ගෝලීය හිම වලස් ගහණ්‍යෙන් තුනෙන් දෙකක් පමණ බව පැවසේ.