August 22, 2024

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමණක් ටොන් 20කට අධික ප්‍රමාණයක් බැහැර කළ බවත්, ජනතාව කෙතරම් දැනුවත් කළද පරිසරය පිළිබඳව ජනතාව දක්වන උනන්දුව ඉතා කණගාටුදායක බවත් මහනුවර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නාමල් දිසානායක අවධාරණය කර සිටියේ, මෙවර ඇසළ පෙරහර සමය වර්ෂා කාල වකවානුවක පැවැති බැවින් ඉටිකොළ භාවිතය අධික වුවත් ජනතාව මීට වඩා වගකීමකින් යුතුව ඉටිකොළ සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතයේදී ක්‍රියාකළ යුතුව තිබෙන බවයි.

පෙරහර මංගල්‍යයේ අලින්ගේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය පමණක් ටොන් 200කට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කොට ඇති බවත්, මේ වන විටත් එම අපද්‍රව්‍ය ඉවත් කරමින් තිබෙන බවද නාමල් දිසානායක පවසයි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, අලින් විසින් ආහාරයට නොගත් විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඒ අතර ඇති බවයි.

මෙම තත්ත්වය මීට පෙර පෙරහර සමයේදී වාර්තා නොවූ තත්ත්වයක් බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.