October 16, 2024

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ බෝම්බ තර්ජන එල්ල වීම හේතුවෙන් පසුගිය පැය 48 තුළ අවම වශයෙන් ඉන්දීය ගුවන් යානා 10ක් පමණ දිගු ප්‍රමාදයන් සහ වෙනත් මගහැරීම්වලට ලක්ව ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

බෝම්බ තර්ජනයක් හේතුවෙන් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවත්කර පියාසර කරවීම සඳහා ඊයේ සිංගප්පූරු ගුවන් හමුදාව ප්‍රහාරක ජෙට් යානා දෙකක් යොදවා තිබේ.

ඊට පැය කිහිපයකට පෙර දිල්ලියේ සිට චිකාගෝ බලා ගුවන් ගතවීමට පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයක් පූර්වාරක්ෂක පියවරක් ලෙස කැනේඩියානු ගුවන් තොටුපළකට ගොඩබෑමට සිදුවිය.

ගුවන් සමාගම් වෙත එල්ල වන ව්‍යාජ බෝම්බ තර්ජන ඉන්දියාවට අසාමාන්‍ය දෙයක් නොවන නමුත් සඳුදා සිට එම තත්ත්වය ඉහළ ගොස් තිබේ.

ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට ඉන්දීය රජයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ සහ සිවිල් ගුවන් සේවා ආරක්ෂක කාර්යාංශයේ නිලධාරීන් ප්‍රතිචාර නොදැක් වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

එයාර් ඉන්දියා ගුවන් සමාගමට අමතරව ඉන්ඩිගෝ, ස්පයිස් ජෙට් සහ ආකාසා එයාර් ගුවන් යානාවලට ද මෙම ව්‍යාජ බෝබ්ම තර්ජන එල්ල විය.

ඉකුත් සඳුදා, මුම්බායි සිට ගුවන් ගත වූ අන්තර්ජාතික ගුවන් ගමන් තුනක් හරවා යැවීමට හෝ ප්‍රමාද කිරීමට හේතුවී තිබුණේ X ගිණුම් ඔස්සේ ගුවන් යානා අංක දක්වමින් තර්ජනාත්මක දැන්වීම් පළකිරීමෙන් පසුවයි.

මේ සම්බන්ධයෙන් තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේදී එයාර් ඉන්දියා ගුවන් යානා දෙකක් ඇතුළුව ගුවන් ගමන් හතක්, තවත් බෝම්බ තර්ජනයක් හේතුවෙන් ප්‍රමාද කර හෝ හරවා යැවීමකට ලක්කර තිබිණි.

42.31%
17.27%
32.76%