April 6, 2024

රට තුළ සිටින ඇෆ්ගන් සංක්‍රමණිකයන් නෙරපා හැරීමේ සැලැස්ම වහාම අවලංගු කරන ලෙස ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ බව නොතකා පකිස්තානය තවදුරටත් ඇෆ්ගන් වැසියන් රටින් නෙරපා හරින්නේ නම් එම ක්‍රියාව ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීමක් බව ඔවුන් පෙන්වා දී ඇත.

පකිස්තානය තුළ සිටින ඇෆ්ගන් සරණාගතයින් නෙරපා හැරීමේ සැලැස්ම ජාත්‍යන්තර මානව හිමිකම් නීති, ජාත්‍යන්තර සරණාගත නීති සහ සියලුම ජාත්‍යන්තර සම්මුතීන් කඩ කරන බව ද ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පෙන්වා දී තිබේ.

එම සරණාගතයින් තලේබාන් පාලනය සහිත ඇෆ්ගනිස්ථානයට පිටුවහල් කළහොත් එයින් පෙන්නුම් කෙරෙන්නේ මානුෂීය ව්‍යසනය සම්බන්ධයෙන් පකිස්ථාන බලධාරීන් තුළ පවතින නිර්දය නොසැලකිල්ල බවත්, එය හද කම්පා කරවන්නක් බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසා ඇත.

ඇෆ්ගන් සරණාගතයින් ඇෆ්ගනිස්තානය වෙත පිටුවහල් කිරීම නැවැත්වීම සඳහා නැවත නැවතත් සිදුකෙරෙන ගෝලීය ඉල්ලීම්වලට අවනත වීම වෙනුවට, පකිස්ථානයේ නව රජය බලාපොරොත්තු සුන් කරවන පරිදි කටයුතු කරමින් සිටින බවට ද චෝදනා එල්ල වෙයි.

නව රජය විසින් ඇෆ්ගනිස්ථාන පුරවැසි කාඩ්පත දරන්නන් ද පිටුවහල් කිරීම සිදු කරමින් ඇතැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.