42.31%
17.27%
32.76%
October 4, 2024

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටියි.

මෙම ප්‍රශ්න කිරීම අද හෙටම සිදුවන බව උසස් පොලිස් නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

වාර්තාවන්ට අනුව ඊට අවශ්‍ය අධිකරණමය කටයුතු ඊයේ (03) සිදුවෙමින් තිබිණි.

පොලිසියට කට්ටි පනිමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කොළඹ පිහිටි නිවෙසක ගරාජයක තිබී පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කළ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථය ඉකුත් ජූලි මාසයේදී සොයාගනු ලබන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟිනි.

ඒ සම්බන්ධයෙන් පියුමි හංසමාලි පවසා තිබුණේ එම මෝටර් රථය තමාගේ නමින් තිබුණ ද එය තමන් විසින් අලෙවි කළ එකක් බවය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පවරා තිබිණි.

දීර්ඝ විමර්ශනයකදී ඒ සම්බන්ධයෙන් සුවිශේෂ කරුණු රැසක් හෙළි වී ඇති බව පැවැසේ.

ඇගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත්තේ ඒ සම්බන්ධයෙන් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් තට්ටු නිවාස කිහිපයක්, මෝටර් රථ කිහිපයක් ඇතුළු දේපොළ ගණනාවක් ද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ඒ අතර පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර ඇති බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය ද ඇතැයි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කර ඇත.

මේ සියලු දේපොළ තහනම් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් පියුමි හංසමාලිගේ නමින් ඇති මෝටර් රථයේ සැබෑ අයිතිකරු කවුරුන්දැයි සොයා තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%