March 26, 2025

ගුවන් නියමුවාට සිය විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒමට අමතක වීම හේතුවෙන් ඇමරිකාවේ සිට චීනය බලා පිටත්ව ගිය යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් යානයක් අනපේක්ෂිත ලෙස හරවා යැවීමට සිදුව තිබේ.

UA198 දරන එම ගුවන් යානය මගීන් 257 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 13 දෙනකු සමඟ මාර්තු 22 වැනි දින ලොස් ඇන්ජලීස් වෙතින් ෂැංහයි වෙත පැය 13½ ක ගුවන් ගමනක් සඳහා පිටත්ව තිබේ.

කෙසේවෙතත්, පියාසැරිය ආරම්භ කර පැය දෙකකට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුව Boeing 787-9 යානය ආපසු හැරී සැන් ෆ්‍රැන්සිස්කෝ අන්තර්ජාතික ගුවන්තොටුපළට ගොඩබෑමට පියවර ගෙන තිබේ.

ඒ, නියමුවාගේ විදේශ ගමන් බලපත්‍රය යානයේ නොතිබූ නිසා බව ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

මෙම සිදුවීමෙන් අනතුරුව යානයේ සිටි මගියකු ඔහුගේ X හි මෙලෙස පළකර තිබේ.

“ගුවන් යානය සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත හරවා යැවුණේ ගුවන් නියමුවාට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අමතක වූ නිසාද? දැන් පැය 6 සිරවී ඇත. මෙය පිළිගත නොහැකිය. යුනයිටඩ් එයාර්ලයින්ස්, මෙම සම්පූර්ණ වැරදි ලෙස හැසිරවීම සඳහා ඔබ ලබාදෙන වන්දිය කුමක්ද?”

ගුවන් සමාගම අනපේක්ෂිත ගමන් බාධාව සඳහා මගීන්ගෙන සමාව අයැද තිබේ.

එමෙන්ම අපහසුතාවට පත් මගීන්ට ඔවුන්ගේ ගමනාන්තයට පියාසර කිරීමට නව කාර්ය මණ්ඩලයක් ලබාදීමට ද ගුවන් සමාගම පියවර ගෙන ඇති අතර මගීන්ට ආහාර වවුචර සහ වන්දි මුදල් ද ලබාදුන් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

නව කාර්ය මණ්ඩලය සමග යානය නියමිත වේලාවට වඩා පැය හයක් පමණ ප්‍රමාද වී ෂැංහයි වෙත ගොඩ බැස්ස බව CNN පුවත් සේවට වාර්තා කර තිබේ.