November 22, 2024

2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනයක් වන ‘චැනල් 4’ විසින් ප්‍රචාරය කළ වාර්තා චිත්‍රපටයට අදාළව තමාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකරණ විමර්ශනය දේශපාලන පළිගැනීමක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පවසයි.

අද ජමාධ්‍ය වෙත අදහස් දක්වමින් පිල්ලෙයාන් කියාසිටියේ, පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් රජයේ දෙපාර්තමේන්තුවක් පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳව කණගාටුව පළකරන බවයි.

“සීඅයිඩීය වැනි දෙපාර්තමේන්තු ඇතැම් පුද්ගලයන්ගේ අභිමතය පරිදි ක්‍රියා නොකර බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුයි,” ඔහු පැවැසීය.

තමාට දෙමළ භාෂාවෙන් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව ඊයේ දිනයේ පැය 5ක ප්‍රකාශයක් ලබාගනිද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත්, ඉන් අනතුරුව අදාළ භාෂා පරිවර්තන කටයුතු සකස් කිරීම සඳහා අද දින වාර්තා කරන ලෙස රහස් පොලිසිය දැනුම්දුන් බවත් හිටපු පිල්ලෙයාන් සඳහන් කළේය.

පිල්ලෙයාන් මේ බව ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ චැනල් 4 වාර්තා චිත්‍රපටයේ තම නම සඳහන් වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පිට පිට දෙවැනි දිනටත් අද රහස් පොලිසියට වාර්තා කිරීමෙන් අනතුරුවය.

2023 සැප්තැම්බරයේදී, බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනයක් වන ‘චැනල් 4’ විසින් වීඩියෝ පටයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා රජයේ සමහර නිලධාරීන් පාස්කු දින බෝම්බ ප්‍රහාරවලට හවුල් වූ බවට චෝදනා එල්ල කළේය.

එම චිත්‍රපටයේ තොරතුරු හෙළිකරන්නන් අතර පිල්ලෙයාන්ගේ දේශපාලන පක්ෂය වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (TMVP) හි හිටපු ප්‍රකාශක අසාද් මවුලානා ද විය.

‘චැනල් 4’ වීඩියෝ පටයේ පෙනීසිටින අසාද් මවුලානා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරක සහරාන් හෂීම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලෙයි අතර හමුවක් සිදුවූ බවට චෝදනා කළ අතර, එම හමුව සිදුවන අවස්ථාවේ තමන්ද එහි සිටි බවද කියාසිටියේය.

වීඩියෝව නිකුත්වීමත් සමඟම එවකට ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් කළේය.

මෙම හෙළිදරව්ව පිළිබඳව අදහස් දක්වමින් පිල්ලෙයාන් කියාසිටියේ, පාස්කු ඉරිදා ප්‍රහාරයට හෝ බෝම්බකරුවන්ට කිසිදු සම්බන්ධයක් තමන්ගේ නොමැති බවත්, තම හිටපු ප්‍රකාශකයා විදේශයක සරණාගතභාවය තහවුරු කර ගැනීම සඳහා බොරු ප්‍රකාශ කරන බවත්ය.

පිල්ලෙයාන් පාර්ලිමේන්තුවට දන්වා සිටියේ, අසාද් මවුලානා TMVPයට නිල වශයෙන් දැනුම්දී, පෞද්ගලික ප්‍රශ්න මත තම පවුලේ අය සමඟ පෙර වසරේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවයි.

පිල්ලෙයාන් ‘චැනල් 4’ වීඩියෝ පටයේ හෙළිදරව් වී ඇති චෝදනා පමණක් නොව අසාද් මවුලානාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විදේශීය සහාය ඉල්ලා සිටියේය.

42.31%
17.27%
32.76%