May 16, 2024

ඉන්දියාවේ ෆින්ටෙක් සමාගමක් වන PhonePe විසින් ඉන්දියාවේ ක්ෂණික ගෙවීම් තාක්‍ෂණ සේවාව වන Unified Payments Interface (UPI) ශ්‍රී ලංකාවේ දියත් කර තිබේ.

ඒ වෙනුවෙන් පැවති උත්සවයට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහභාගි වූහ.

UPI යනු පාරිභෝගිකයා විසින් නිර්මාණය කරන ලද ඔන්ලයින් ගෙවීම් ලිපිනයක් (VPA) භාවිත කරමින් පාරිභෝගිකයන්ට පැය විසිහතරේම ගෙවීම් කිරීමට පහසුකම් සපයන ඉන්දියාවේ ජංගම දුරකථන පදනම් කරගත් වේගවත් ගෙවීම් පද්ධතියයි.

X හි සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, PhonePe විසින් UPI ගෙවීම් ශ්‍රී ලංකාව තුළ දියත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ සංචාරකයන් සඳහා පහසුව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි.

මැයි 15 වැනිදා PhonePe නිවේදනය කළේ LankaPay සමඟ සහයෝගයෙන් UPI ගෙවීම් පිළිගැනීම සක්‍රීය කර ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සිය යෙදුම් පරිශීලකයන්ට දැන් UPI භාවිතයෙන් රට පුරා සිටින LankaPayQR වෙළඳුන් හරහා ගෙවීම් කළ හැකි බව එම සමාගම පෙන්වාදෙයි.

PhonePe භාවිතා කරන්නන්ට මුදලින් හෝ මුදල් පරිවර්තන ගණනය කිරීමකින් තොරව ආරක්ෂිත සහ ඉක්මන් ගෙවීම් කිරීමට LankaQR කේතය යොදාගත හැකි බව ද එම සමාගම පවසයි.

ෆින්ටෙක් නවෝත්පාදන සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම්වල ප්‍රමුඛයා ලෙස නැගී සිටින ඉන්දියාව, හවුල්කාර රටවල් සමඟ තම සංවර්ධන අත්දැකීම් සහ නවෝත්පාදන බෙදාගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබේ.

ඉන්දියාවේ ක්ෂණික ගෙවීම් තාක්‍ෂණ සේවාව වන Unified Payment Interface (UPI) පෙබරවාරි මස මුලදී, ශ්‍රී ලංකාවේ සහ මොරිෂස්හි ඔන්ලයින් තාක්ෂණයෙන් දියත් කරන ලද අතර එයට අගමැති නරේන්ද්‍ර මෝදි, ඔහුගේ මොරිෂස් සහකරු ප්‍රවින්ද් ජග්නවුත් සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වුහ.

වීඩියෝ සම්මන්ත්‍රණ හරහා මෙම අවස්ථාව අමතමින් අගමැති මෝදි කියා සිටියේ එය ඉන්දීය සාගර කලාපයේ රටවල් තුනකට වැදගත් සිදුවීමක් බවයි.

“ඉන්දියානු සාගර කලාපයේ මිත්‍ර රටවල් තුනකට අද විශේෂ දවසක්. අද අපි අපේ ඓතිහාසික සබඳතා නවීන ඩිජිටල් ආකාරයෙන් සම්බන්ධ කරනවා. මෙය අපගේ ජනතාවගේ සංවර්ධනය සඳහා අපගේ කැපවීම පිළිබඳ සාක්ෂියක්,” යනුවෙන් අගමැති මෝදි පැවසීය.

ෆින්ටෙක් සම්බන්ධතාව දේශසීමා ගනුදෙනු පමණක් නොව දේශසීමා සම්බන්ධතා ද ශක්තිමත් කරන බව ඔහු පැවසීය.

ඩිජිටල් පොදු යටිතල පහසුකම් ඉන්දියාවේ විප්ලවීය වෙනසක් ඇති කර ඇති බවත් කුඩාම ගමේ කුඩාම ව්‍යාපාරිකයා පවා ඩිජිටල් ගෙවීම් කරන්නේ එහි පහසුව මෙන්ම වේගයද තිබෙන නිසා බවත් ඔහු පැවසීය.