March 3, 2025

වෙළඳ බලපත්‍රයක් අලුත් කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 200,000 ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලිගේ නියෝගය පරිදි මාර්තු 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගලේවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව සුසන්ත ඉසුරු රත්නායක බණ්ඩාර නමැති එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පෙබරවාරි 15 ​​වැනි දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු පළමුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

බන්ධනාගාර නිලධාරීන් ඔහුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

පැමිණිලිකරු 2025 වසර සඳහා තම වෙළඳ බලපත්‍රය අලුත් කරන ලෙස ඉල්ලා ඇති අතර, එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අල්ලසක් ඉල්ලා ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර විමර්ශනයේ ප්‍රගතිය මාර්තු 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙත දැනුම් දුන්නාය.