December 16, 2023

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්‍යන්ත සමාගමේ සේවකයන් 19 දෙනකුට පසුගිය 2021 වර්ශයේදී ඔවුන්ගේ මූලික වැටුප මෙන් සියයට 300කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්‍යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්‍යන්ත සමාගමේ අතිකාල වැඩ සඳහා සැබෑ අවශ්‍යතා නොමැති අවස්ථාවලදී පවා සේවකයන් විශාල පිරිසකට මෙලෙස රුපියල් කෝටි ගණනක අතිකාල ගෙවීම ආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක් බව ජාතික විගනන කාර්‍යාලය පවසයි.

එමෙන්ම සේවකයන් 210 දෙනකු සිය මූලික වැටුප මෙන් සියයට දෙසීයක්ට වැඩි අතිකාල දීමනාද සේවකයන් 988 දෙනකු තම මූලික වැටුපෙන් සියයට සීයකට වඩා අතිකාල දීමනාද සේවකයන් 1335 දෙනකු (සමාගෙමේ 2638ක් වූ මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට පනහකට වැඩි පිරිසක්) සියයට 75කට වැඩි අතිකාල දීමනාද 2021 වර්ශයේදී ලබාගෙන ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේ අතර ණය ආපසු අයකර ගැනීමේ හැකියාව සමාලෝචනය නොකර තව තවත් ණය ගැනීමට සේවකයන් දිරිමත් කර තිබූ බව පෙන්වා දෙන විගණන වාර්තාව, සේවකයන්ට ලබා දී ඇති කාර්‍යාල මණ්ඩල ණය අයකර ගැනීමේ පදනමක් ලෙස ඔවුන්ට අතිකාල වැඩ සඳහා මෙසේ වැඩි අවස්ථා දී තිබූ බව ද සඳහන් වේ.

මේ අතර ඉන්ධන බෙදාහැරීමේ අවශ්‍යතාවලින් සියයට අසූවක්ම පෞද්ගලික බවුසර් යොදාගෙන සම්පූර්ණ කර තිබූ හෙයින් සමාගමට අයත් බවුසර්වලින් සියයට 75කට වැඩි සංඛ්‍යාවක් එනම්, සමස්ත බවුසර් ධාරිතාවෙන් සියයට පනහක්ම අක්‍රීයව පැවතුණු බව විගණන නිලධාරීන් පෙන්වා දෙති.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා අරමුදල් ආර්ථිකමය වශයෙන් හා කාර්‍යක්ෂමව යෙදවීමට නම් සමාගමට හිමි බවුසර් ප්‍රශස්ත ලෙස භාවිත කිරීමට ප්‍රමුඛත්වය දියයුතු බව විගණන නිලධාරීන් නිර්දේශ කර ඇත.

මෙම තොරතුරු සඳහන් වන්නේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්‍යන්ත සමාගමේ 2021 වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%