March 25, 2025

ඉදිරි මාස දෙක තුළ ලිහිසි තෙල් අපනයනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා පවසයි.

ඒවා සඳහා බංග්ලාදේශය දැනටමත් ඇණවුම් සිදුකර ඇතැයි ද ඔහු පැවසුවේය.

”අපේ ලිහිසි තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටී තිබුණා. මෙම කාලය තුළ අපගේ නිෂ්පාදනය දෙගුණ කිරීමට අපට හැකි වූ බව සතුටින් ප්‍රකාශ කරනවා. මාස දෙකකින් නිෂ්පාදනය උපරිම මට්ටමට ළඟාවන බව සතුටින් ප්‍රකාශ කරනවා. අපට බංග්ලාදේශයෙන් ඇණවුම් ලැබී තිබෙනවා.” යනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවක සංගමයේ පැවැති උත්සවයක් අමතමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැන් ගුවන් යානා ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ගුවන් සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට ගුවන් යානා ඉන්ධන වෙළෙඳාම වේගවත් ලෙස ඉහළ යමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

සේවකයන්ගේ වාර්ෂික ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ප්‍රසාද දීමනා ලබාදිය හැකිද නැද්ද යන්න සම්බන්ධයෙන් දැනට ප්‍රශ්නයක් පවතින බවයි.

ප්‍රසාද දීමනාව නතර කිරීමට තමාගේ අදහසක් නොමැති නමුත් අනුගමනය කළ යුතු නීති සහ චක්‍රලේඛ ඇතයි ද ඔහු පැවැවසීය.

එම රෙගුලාසිවලට අනුව ප්‍රසාද දීමනා ලබා දෙන්නේ කෙසේදැයි මම සොයාබැලු බවත්, ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය අවශ්‍ය වන අතර, එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව ද ඔහු පෙන්වාදුන්නේය.

”එම ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාදාමයන් පිළිබඳව අපි කටයුතු කරමින් සිටිනවා. අවාසනාවට, මේ මාසය තුළ අපට එය සම්පූර්ණ කිරීමට හැකියාවක් නැහැ” ඩී. ජේ. රාජකරුණා පැවැසුවේය.

ප්‍රසාද දීමනා නතර නොකරන බවට ඔහු සේවකයින්ට සහතික වූ අතර මේ මාසයේ ප්‍රසාද දීමනාව ලබාදීමට නොහැකි වුවද අලුත් අවුරුදු දීමනාව වන රුපියල් 50,000 තාවකාලික විසඳුමක් ලෙස ලබාදෙනු ඇතැයි ද සඳහන් කළේය.