February 3, 2024

ඛනිජ තෙල් සංස්ථාව සහ විදේශීය තෙල් සමාගම් ඉන්ධනහල් හිමියන් වෙත ගෙවනු ලබන වට්ටම් මුදල මත පතිත කර ඇති සියයට 18ක වැට් බද්ද වහාම ඉවත් කරගැනීමට සමාගම් ක්‍රියා නොකරහොත් තමුන්ට ඉන්ධනහල් වසාදමා එම ව්‍යාපාරයෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය රජයේ වගකිවයුතු නිලධාරීන්ට දැනුම් දී තිබේ.

රජය මගින් ඉන්ධන මත සියයට 18ක වැට් බදු පැනවීම නිසා ඉන්ධන අලෙවියෙන් තමන්ට ලබාදෙන සියයට තුනකටත් අඩු කොමිස් මුදලින් එම බද්ද ගෙවීමට සිදුවී ඇතැයිද එම සංගමය පෙන්වාදී ඇත.

මේ නිසා ඉන්ධනහල් හිමියන්ට ලැබෙන කොමිස් මුදල සූක්ෂම ලෙස සමාගම් ආපසු ලබාගන්නා බවත් සේවක පඩි නඩි, විදුලි බිල්පත් හා අනෙකුත් නඩත්තු කටයුතු සදහා මුදල් වෙන්කළ පසු මෙම ව්‍යාපාරය පවත්වාගෙන යෑමට නොහැකි බව එම සංගමය පෙන්වාදෙයි.

ලංකා ඉන්දියන් තෙල් සමාගමට හා චීන සිනොපෙක් සමාගම් දෙකම ණය මත ඉන්ධන ලබාදෙන මුත් තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල් හිමියන්ට අත්පිට මුදලට ඉන්ධන මිලදී ගැනීමට සිදුව තිබේ. සිපෙට්කෝ ඉන්ධනහල් හිමියන් මේ නිසා ඉතා අසීරුවෙන් තෙල් අලෙවිය සිදුකරමින් තිබියදී පාරිභෝගිකයන්ට විතැන් වියයුතු සියයට 18ක වැට් බද්දද ඉන්ධනහල් හිමියන්ගේ කර මත පතිත වන්නට ඉඩහැර ඇතැයිද සංගමය සඳහන් කරයි.

කොමිස් මුදල් මත ව්‍යායාපාර පවත්වාගෙන උපරිම සිල්ලර මිල (MRP ) සදහන් අනිකුත් සියලුම සමාගම් එම බෙදුම්කරුවන්ට වැට් බද්දට නියමිත මුදල කොමිස් මුදලට එකතු කර ඇත

මෙම වැට් බදු ප්‍රශ්නය පිළිබදව වහා සොයාබලා සාධාරණයක් ඉටු නොවුණහොත් තිබෙන සිපෙට්කෝ ඉන්ධනහල් ප්‍රමාණයත් විදෙස් සමාගමකට විකුණා දමන්නට සිදුවනු ඇතැයිද එම සංගමය විෂය භාර රාජ්‍ය ඇමැතිවරයාට හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්ට හා තෙල් සංස්ථා ප්‍රධානීන්ට ලිපි මගින් දැනුම් දී තිබේ.

මෙම ප්‍රශ්නය ඉක්මණිනින්ම නිරාකරණය නොකළහොත් ඉදිරියේදී ඉන්ධන ඇනවුම කිරීමට නොහැකි තත්ත්වයට බෙදුම්කරුවන් පත්වනු ඇතැයි සංගමය අනතුර අඟවයි.

42.31%
17.27%
32.76%