September 6, 2024

ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුට සහාය පිණිස දැන්වීමක් නිර්මාණය කිරීමට තෙල් හා ගෑස් පෝලිමක් ව්‍යාජ ලෙස නිර්මාණය කොට ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට දර්ශන වීඩියෝගත කළ පුද්ගලයකු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කළ පැමිණිල්ලක් මත කටුගස්තොට පොලිසිය මගින් අදාළ පුද්ගලයා ඊයේ (5දා) අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ දැන්වීම් සහ උත්සව සංවිධාන පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු තෙල් පෝලිම් යුගය නැවත සිහිගන්වනු පිණිස දැන්වීම් නිර්මාණය කිරීමට අදාළව පක්ෂයකින් කොන්ත්‍රාත් මුදල් ලබාගෙන ඇති බවට පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

දැන්වීම් නිර්මාණය කිරීම සඳහා මුදල් ගෙවා පිරිසක් යොදවා පෝලිම් නිර්මාණය කර ඇති අතර ඊට ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් ද යොදවා තිබේ.

අදාළ කටයුත්ත සඳහා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට පෙළගැසී සිටි අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පිරිසක් මහනුවර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට කළ පැමිණිල්ල මත කටුගස්තොට පොලිසිය යොදවා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය මගින් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු පොලිස් ඇප මත මුදාහැර තිබේ.