September 7, 2024

අධිකරණය තුළදී නොසන්සුන් ලෙස හැසිරී වීදුරු සහිත දොරකට පයින් ගසා කඩාබිඳ දැමුවැයි හෝමාගම මහේස්ත්‍රාත් ජිනේන්ද්‍රා ජයසූරිය පුද්ගලයකුට මාස හයක බරපතළ සිරදඬුවමක් නියම කරමින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි පුද්ගලයකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පසුගිය 6 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙරවරු 11.15ට පමණ නඩු කටයුතු සිදුවෙමින් පවතින අවස්ථාවේදී නඩුවක් සඳහා පැමිණි මේ පුද්ගලයා මහේස්ත්‍රාත් අධිකරණයේ වීදුරු සහිත දොරකට පයින් ගසා කඩාබිඳ දමමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබේ.

එහි සිටි ආරක්ෂක නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කර තිබේ.

නඩු කටයුතු පැවැත්වෙන මොහොතේ එයට බාධා කිරීම සහ අධිකරණ භූමියේ රජය සතු දේපොළවලට හානිකිරීම යන චෝදනාවලට වැරදිකරු කරමින් බරපතළ වැඩ සහිත මාස හයක සිර දඬුවමක් මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

ඔහු මානසික ආබාධයකින් පෙළේද යන්න පරීක්ෂා කිරීමට මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කර වාර්තාවක් රැගෙන එන ලෙසට බන්ධනාගාර නිලධාරින්ට නියෝගයක් ද ලබාදී ඇත.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම පොලිසියට නියෝග කෙරිණි.